Skip to content

ෆැෂන් ෆොටෝග‍්‍රැපර්ස්ල කියන්නෙත් ආර්ටිස්ල ද?

පෙබරවාරි 7, 2013

modmuse6naomi

පීටර් ලින්ඩ්බර්ග් සමඟ සාකච්ඡාවක් – අන්තෝනියෝ රියා

පළමු කොටස

අසුව දශකයේ මුල් භාගයේදී පීටර් ලින්ඩ්බර්ග් විලාසිතාවන් ඡායාරූපයට නගන ආකාරයේ හා එය අර්ථදක්වන ආකාරයේ නව මාදිලියක් සොයා ගත්යේ ය. ඔහු 1944 වසරේ දී ජර්මනියේ පොලන්ත බෝඩරයට ආසන්නව උපත ලැබීය. ඔහු ළමාකාලය ගතකලේ රහර් ප‍්‍රාන්තය මධ්‍යයේ පිහිටි කාර්මිකකරනය වූ ඩයිශ්බර්ග් නගරයේ වූ අතර මෙම නගරයේ භූමි දර්ශන ඔහුගේ පසුකාලීන නිර්මාණයන්හි කොටසක් බවට පත් විය. ලින්ඩන්බර්ග් චිත‍්‍රකලාව කේෆීල්ඞ් ඇකඩමි ඔෆ් ආර්ට් හි ඉගෙන ගත්තේ ය. ඔහු ඡායාරූපකරණය වෙත අවධානය යොමු කරනු ලැබුවේ වසර 24 දී පමණ පසුකාලයක වුවද අද ඔහු හඳුනාගනු ලබන්නේ කළු සුදු ඡායාරූපකරණයේ අවිවාදාත්මක විශේෂඥයා ලෙස ය. ඔහුගේ ඡායාරූප මුළින්ම ප‍්‍රකාශනයට පත්වන්නේ 1973 වර්යේ ඔහු ප‍්‍රචාරාත්මක හා දැන්වීම්කරණ ඡායාරූප ගැනීම ආරම්භකල කාලයේදීම වන අතර 1978 වර්යේ දී ඔහුගේ මුල්ම විලාසිතා ඡායාරූප ස්ටර්න් සගරාවේ පළවිය. එතැන් පටන් ඔහුගේ නිර්මාණ සියළුම ප‍්‍රමුඛ ජ්‍යාත්‍යාන්තර සඟරාවල සහ ප‍්‍රදර්ශන ගණනාවක, මෑතකදී මිලාන් ටි‍්‍රනාලේ හි පැවතුනු වැදගත් නැවත හැරීබැලීත් ඇතුලත්ව, පළවනු දැකිය හැක. අන්තෝනියෝ රියා පීටර් ලින්ඞ්බර්ග් සමග මෙම සාකච්ඡාව පවත්වන්නේ එතැනදී ය.

රියා – කවුරුත් දන්න දෙයක් තමයි ඇමෙරිකානුවන් සමග ගනුදෙනු කරත්දී ඔබට පරිපූර්න උත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගෙන් සරල ප‍්‍රශ්න ඇසිය යුතුයි කියන එක. ඒත් ජර්මානුවන්ට එනවිට, ඔවුන් කාන්ට් හා හේගල්ගෙ රටේ අය නිසා, ඔවුන්ගෙන් සරල උත්තරයක් ලබා ගන්න උවමනානම් ඔවුන්ගෙන් සංකීර්ණ ප‍්‍රශ්ණ, ඇත්තටම කියනවනම් ඉතාම සංකීර්ණ ප‍්‍රශ්න ඇසිය යුතුයි. මේ සම්මුඛ සාකච්ඡාවේ තියන අභියෝගය ඒක තමයි. ඒ කියන්නේ මෙම භූමිකාවන් රග දක්වන එක. මගේ පැත්තෙන් භාශා දාර්ශනිකයා, සංකීර්ණත්වය. ඔබේ පැත්තෙන් ඡායාරූප ශිල්පියා සහ කලා කරුවා. සරලත්වය. පීටර් ලින්ඞ්බර්ග්, ඔබ මෙම අභියෝගය භාරගන්නව ද?

ලින්ඞ්බර්ග් – ඔව්. ඡායාරූපකරණය තුළ නීති රීති කිසිවක් නැහැ. ඔබට සංකීර්ණව කල්පනා කරමින් ඒ සමගම ඉතා සරල ඡායාරූපයක් ගන්න පුලූවන්. එහෙම නැත්නම්, ඊට වෙනස්ව, ඉතා සරල ලෙසට කල්පනා කරල ඉතාමත් සංකීර්ණ ඡායාරූපයක් ලබාගන්න පුලූවන්. සරල වේවා, සංකීර්ණ වේවා හොදමඡායාරූප කියල කියන්නේ හැගීම් නිර්මාණය කිරීමට සමත් ඡායාරූපයි. එහිදී පුද්ගලයා ජර්මානුවෙක් ද ඇමෙරිකානුවෙක් ද කියන කරුනට එහි කිසිම සම්බන්ධයක් නැහැ. මෙක විශ්වීය භාශාවක්.

රියා – අපි කැමරාවත් සමග ඔබේ තිබෙන සම්බන්ධය කුමක් ද කියන තැනින් සාකච්ඡාව පටන් ගමු. ඔබ මුලින්ම චිත‍්‍ර කලාවට පිවිසිල පසුව තමයි ඡායාරූපකරණයට පිවිසෙන්නේ. එමෙන්ම ඔබ වීඩියෝ සහ චිත‍්‍රපට සමගත් වැඩකරනව. නුමුත් හැගීම් ප‍්‍රකාශකිරීමේ මාදිලියක් ලෙස ඡායාරූපකරණය තමයි ඔබට වඩාත් ගැලපෙනවා යැයි පෙනෙන්නෙ. අනිකුත් හැගීම් ප‍්‍රකාශ කිරීමේ මාදිලියන්ට වෙනස්ව ඡායාරූපකරනය තුලින් මොනවාද ඔබට අත්කර ගැනීමට හැකියාව ලැබෙන්නේ.

pascal-greggory-daphne-groeneveld-by-peter-lindberg-5

ලින්ඞ්බරග් – කැමරාව කියන්නේ විෂ්මිත සොයාගැනීමක්. චිත‍්‍ර කලාවේදී ඔබට අවශ්‍ය වෙන්නේ අත් දෙක පමණයි. ඔබට අවශ්‍ය නම් අත් දෙක විතරමත් පාවිච්චි කරන්න පුළුවන්. ඡායාරූපකරණයේදී මීට වෙනස්ව අපට යතාර්ථය සොරා ගැනීමට, ග‍්‍රහණය කර ගැනීමට, වෙනස් කරගැනීමට අවකාශ සපයා දෙන යන්ත‍්‍රයක් උපකරණයක් අවශ්‍ය වෙනව.

රියා – කොහොමද නිර්මාණාත්මක අදහසක් බිහි වන්නේ? කොහේ සිටද නිර්මාණාත්මක ජවය පැමිනෙන්නේ.

ලින්ඞ්බර්ග් – යම් කලාකරුවෙක් තුළ හෝ ඡායාරූප ශිල්පියෙකු තුළ නිර්මාණාත්මකභාවය බිහි වන්නේ කොහොමද කියන එක හරිම සිත්ගන්නාසුලූ ප‍්‍රශ්නයක්. මම හිතනව සෑම පුද්ගලයෙක් තුළම ඔවුන් දැකපු දේ, හැගුන දේ, සිතුවිලි සියල්ලක්ම පිරුණු, ඒ සියළු අත් දැකීම් එකිනෙක හා මිශ‍්‍රව පවතින ජලාශයක් තිබෙනව කියල. මේ මූල ධර්මය අපි හැමෝටම එකයි. කලාකරුවෙකුගෙයි, යම් නිර්මාණයක් හරහා තමන්ව ප‍්‍රකාශයට පත් නොකරන පුද්ගලයකුයි අතර වෙනස රදා පවතින්නේ කලාකරුවෙක් තමන්ගේ මතකයන් හා හැගීම් ප‍්‍රකාශයට පත්කිරීමට චැනලයක් සොයමින් සිටිනව යන කාරනය මතයි. ඒ වගේම එම හැගීම් යතාර්ථවත් කර ගැනීමට මාර්ගයන් සොයමින් සිටිනවා යන කාරනය මතයි.

රියා –  නිර්මාණාත්මකවීම ඉගෙනගත හැකි දෙයක් කියල ඔබ සලකනව ද?  එහෙම නැත්නම්, ඔබ දැන් කියූ ආකාරයට, සමහර පුද්ගලයන් නිර්මාණාත්මකවීම සදහාම, තමන්ව එලිදැක්වීම සදහාම, නිර්මාණය වෙලා තිබෙන අතර අනිත් අය එම නිර්මාණ ගැන කල්පනා කිරීමට, විශ්ලේෂණය කිරීමට නිර්මාණය වෙලා තිබෙනවා ද?

jon-k-david-yurman

ලින්ඞ්බර්ග් – ඔව්, එක්තරා ආකාරයකට නිර්මාණාත්මකභාවය කියන එක ඉගෙනගත හැකියි. එහෙම නැතිනම් වැඩි දියුනු කරගත හැකියි. මම ඒක විශ්වාස කරනව, එක්තරා දුරකට. ඔබට ඔබව ප‍්‍රකාශයට පත් කරවන්න, ඔබේ අභ්‍යන්තර ලෝකය භාහිර ලෝකය තුළ යථාර්තවත් කරන්න ඉගෙන ගත හැකියි.

රියා – යමෙකුට නිර්මාණාත්මක වීමට මොනවාද උවමනා කරන්නේ? අවසාන අර්ථයෙන් ගත්තොත් නිර්මාණාත්මකභාවය කියන්නේ මොකක්ද? නිර්මාණාත්මකභාවය කියන්නේ අපගේ භාහිර ලෝකය, අප අවට ලෝකය සමග අපේ ඇති සම්බන්ධය ද? එහෙම නැත්නම් ඒක ප‍්‍රධාන වශයෙන් අප අප සමගම දක්වන සම්බන්ධයක්ද? එය අපගේම අභ්‍යන්තරය කරා යන චාරිකාවක් ද?

ලින්ඞ්බර්ග් – ඇත්තවශයෙන්ම නිර්මාණාත්මකභාවය කියන්නේ අප ගැන, අප අවට ලෝකය ගැන, අපට හැගෙන දෙයහි සැබෑම ස්වරයක්, නැවත ඉපදීමක්. එය යමෙකුගෙ අත්දැකීම්, සිහින, හැගීම් සහ ආශාවන් මත පදනම් වූ යම් පුද්ගලභාවයක ප‍්‍රකාශමාන වීමක්. මම ගැන සලකා බලනවනම් මගේම අභ්‍යන්තරික ලෝකය යථාර්තවත් කර ගැනීම ස්වාභාවික ක‍්‍රියාකාරීත්වයක් ලෙසයි පෙනෙන්නේ. සෑම පුද්ගලයෙක්ම කුමන හෝ ආකාරයක පුද්ගල ප‍්‍රකාශමානවීමක ආශාවකින් පෙලෙනව. ඇත්තටම ගත්තොත් බොහෝ මිනිසුන් ජීවත් වෙන්නේ තමන්ව ප‍්‍රකාශයට පත් කිරීමට ඉතාම කුඩා ඉඩක් පවතින සන්දර්භයක් තුළයි. ඔබ දන්නවද අද ඇයි විලාසිතා මෙතරම් වැදගත් වෙලා තිබෙන්නෙ ඇයි කියල? ඒ මගින් සෑම පුද්ගලයෙකුටම තමන්ගේම වූ අභ්‍යන්තරය එලි දක්වන්න අවස්ථාවක් උදාකර දීල තිබෙනව. විලාසිතා හරහා සියළු දෙනාම තමන්ව ප‍්‍රකාශයට පත් කිරීමට අවස්ථාවක් ලබා ගන්නව. යමෙක් අදින පළදින දෙයින් තමන් කවුද යන්න හෝ තමන් කවුරුන් වෙන්නද කැමති යන්න පිළිබ`දව පනිවිඩයක් ලබා දෙනව. ඒ නිසා තමයි අද දවසේ ජීවිතය තුළ විලාසිතා විශාල වැදගත්කමක් අත් කරගෙන තිබෙන්නේ. ඇත්තටම සම්පුර්ණයෙන් උවමනාවටත් වඩා ප‍්‍රමාණයකට එය වැදගත්වෙලා.

naiomi watts

රියා – අපි නැවත පැමිනෙමු ඔබගේ වර්ගයේ ඡායාරූපකරණය වෙත. විලාසිතා ඡායාරූපකරණය. ඇත්තවශයෙන්ම ඔබ ඔබව විලාසිතා ඡායාරූප ශිල්පියෙකු ලෙස සලකනවාද? එසෙත් නැත්නම් ඔබ මානව සාරය පිළිබඳ ආලේඛ්‍යකරුවෙක්, වාර්තාකරුවෙක් හෝ ගවේශකයෙක් ද? ඔබ කෙසේද ඔබව හදුන්වන්නේ.

ලින්ඞ්බර්ග් – බොහොමයක් විලාසිතා ඡායාරූප ශිල්පීන් තමන්ව විලාසිතා ඡායාරූප ශිල්පීන් ලෙසට නිර්වචනය කරන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. මේක විලාසිතා ඡායාරූපකරණය සමබන්ධයෙන් ගත් කළ සාමාන්‍යයෙන් පවතින දෙයක්. ඒත් මට ඒ ගැටළුව කවදාවත් තිබිල නැහැ. මට අනුව විලාසිතා කියන්නේ සංකීර්ණ ඒ වගේම නූතන ප‍්‍රපංචයක්. ඡායාරූප ශිල්පීන් තමන්ව විලාසිතා ඡායාරූප ශීල්පීන් ලෙස හදුන්වාදීමට මැලිවන කාරණය තමයි (ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍යයි ඔවුන්ව සංකීර්ණ කලාකරුවන් විදියට ඇගයීමට භාජනය වන්න) ඒ නාමය නිතරම සිනහවට භාජනය වන ප‍්‍රතිරූපයක් සහ මෙම නිශ්චිත කලාපයේ වැඩ කරන අයට අලවන ලේබලයක් වී තිබීම.

රියා – 1997 දී පළවූ ඔබගේ වඩාත් වැදගත් ග‍්‍රන්ථයටයි, ඔබගේ මෑත කාලීන ප‍්‍රධාන ප‍්‍රදර්ශනයටයි “ඉමේජස් ඔෆ් විමෙන්” යන මාතෘකාව ඔබ තෝරා ගත්තෙ ඇයි? මෙය ඔබගේ ඡායාරූප පර්යේෂණ වැඩසටහනේ නම ද? පීටර් ලින්ඩබර්ග්, ඇයි ස්ත‍්‍රීන්?

 Memoirs_PeterLindberg

ලින්ඞ්බර්ග්  – මගේ ජීවිත කාලය පූරාම මම වැඩියෙන්ම ඡායාරූපගත කරල තිබෙන්නේ ස්ත‍්‍රීන්. මටත්, ඒවගේම මම හිතන විදියට අනිත් සෑම පිරිමි ඡායාරූප ශිල්පියෙකුටමත් අනුව ස්ත‍්‍රීන් ඡායාරූපගත කිරීම පිරිමින් ඡායාරූපගත කිරීමට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මට පිරිමි විෂයකින් සොයාගන්න බැරි යම් ආකාරයක මැජිකල් යමක් ස්ත‍්‍රීන් තුළ තිබෙනව. ස්ත‍්‍රියක් ඡායාරූපගත කිරීම ඇයට රාත‍්‍රී භෝජනයකට ආරාධනා කිරීමකට සමානයි. අප විරුද්ධ ලිංගිකයන් වීම යන කාරණය විසින් නිර්මාණය කරන ආතතිය ඡායාරූපය වඩා ශක්තිමත් කරන අතර එයට කැරිස්මාවක් ලබා දෙනව.

රියා – ඔබ ඡායාරූපයට නගන ස්ත‍්‍රීන් තුළින් ඔබ ප‍්‍රකාශයට පත් කරන්න යන්නේ කුමක්ද? එය ඔවුන්ගේ ශරීරයේ සුන්දරත්වයද? ඔවුන්ගේ භාහිර ස්වරූපයද? එසේත් නැත්නම් ඔවුන්ගේ මනෝවිද්‍යාව ද?

ලින්ඞ්බර්ග් – ඡායාරූප ශිල්පියෙකු තමන් ඡායාරූපයට නගන පුද්ගලයාගෙන් උත්තේජනය විය යුතුයි. එය ඉතාම වැදගත්. ඒ වගේම ඔහු හෝ ඇයත් ඔබගෙන් උත්තේජනය වෙනවා නම් ඔබට  ඕනෑම දුරක් යා හැකියි. එතැන් පටන් සියළුම දොරවල් විවෘතයි.

රියා – බොහොමයක් වෙළඳ දැන්වීමවල සිටින නිරූපණ ශිල්පීන් සිටින්නෙ සිනහවෙමින්.ඒත් ඔබගේ ඡායාරූපවල එසේ නැහැ. ඒ ඇයි.

ලින්ඞ්බර්ග් – සිනාසෙන්නෙ නැති මුහුන වඩාත් හැගීම්ජනකයි. ඒ තුලින් බොහෝ දේ කියවෙනව. අනිත් සියඵම හැගීම් යටපත් කිරීමේ අවාසිය සිනාව සතුව පවතිනව.

tumblr_ljq1vdjCsx1qbwafbo1_500-460x689

රියා – ඔබගේ නිරූපණ ශිල්පීන් සමග ඔබ නිර්මාණය කර ගන්නා සම්බන්ධය කුමන ආකාරද? ( මම ඔබව නිවැරදිව අවබෝධ කරගත්තානම් නිරූපණ ශිල්පීන් නෙමෙයි සරල ලෙසම ස්ත‍්‍රීන) මොන ආකාරයේ සම්බන්ධයක් ද ඔවුන් සමග ඔබ නිර්මාණය කර ගන්නේ?

ලින්ඞ්බර්ග් – සම්බන්ධයේ පදනම වන්නේ ආත්ම ශක්තියයි, අන්‍යොන්‍ය අවබෝධයයි. මම ඡායාරූපගතකල බොහෝ දෙනා මගේ ඡායාරූප ගැන දන්නව. එමෙන්ම ඔවුන් දන්නව මම ඔවුන්ගෙන් යමක් සොරාගන්නෙ නැහැ කියල. එක් වරක් නාජා අයුමන් සම්මුඛ සාකචඡාවක “මම දන්නව ඔහුට මගේ ආත්මය සොරා ගන්න අවශ්‍ය නැහැ කියල” යැයි පවසල තිබුන. මම කාගෙන්වත් අයුතු ප‍්‍රයෝජනයක් ලබාගන්නෙ නැහැ.

රියා –  මොන වගේ ස්ත‍්‍රීන්ද ඔබගේ පරමාදර්ශී ස්ත‍්‍රිය? ඔබගේ ඡායාරූපකරණය තුළත්, ඔබගේ ජීවිතය තුළත්.

ලින්ඞ්බර්ග් – තමන්ගේ ස්වීය වූ සංවේදීත්වය නොමරාගැනීමට සමත්වන අතරම ශක්තිමත්භාවයට පත්වීමට හැකිවුනු කෙනෙක් තමයි මගේ පරමාදර්ශී ස්ත‍්‍රිය වන්නේ.

annie-morton-photo-peter-lindberg-1996

රියා – ඇයි ඔබගේ ස්ත‍්‍රීන්, ඔබ අපට ලබා දෙන ස්ත‍්‍රීන් ගේ ප‍්‍රතිරූප, සැම විටම නැට්ටුක්කාරියන්, වැම්පයර්ස්ල, සරඹ දක්වන්නියන් වෙලා ඔවුන් ලේකම්වරියන් මවුවරුන් වැනි සාමාන්‍ය රෙඩිමේඞ් ස්ත‍්‍රී ප‍්‍රතිරූප නොවන්නේ?

ලින්ඞ්බර්ග් – මම වාර්තාකරුවෙකු හෝ පුරාවෘත්තකරුවෙකු නොවෙයි. මම මේ ඡායාරූපවලට ඇතුල් කරන්නේ මගේ දැක්මයි.

රියා – ඔබගේ ස්ත‍්‍රී ඡායාරූප ඔබ ඡායාරූපයට නගන ස්ත‍්‍රීන්ගේ සාරය, චරිතය ග‍්‍රහනය කරගන්නවා වගේම ඔවුන්ගේ පෞර්ෂත්වය එලි කරනව. ඔබ ඔබව සලකන්නේ රූප සම්බන්ධයෙන් විජ්ජාකරුවෙකු ලෙසට ද? ඔබ විසින් ඡායාරූපයට නගන ස්ත‍්‍රීන්ගේ මනස ආක‍්‍රමණය කිරීමට ඔබට හැකියාව ලබාදෙන රහස මෙකක්ද?

ලින්ඞ්බර්ග් – නැහැ. මම මොනම ආකාරයකිනවත් මා ගැන විජ්ජාකාරයෙකු ලෙස සිතන්නේ නැහැ. ඇත්තටම, මම මුලදි කිව්ව විදියටම ඡායාරූපයට නගන පුද්ගලයා මාව විශ්වාස කළ යුතුයි. මගේ පැත්තේ වගකීම තමයි එම විශ්වාසය වැරදියට පාවිච්චි නොකරන එක. සාමාන්‍යයෙන් මම ඡායාරූපයට නගන පුද්ගලයින් එම ඡායාරූප හරහා ඒ අයව හදුනා ගන්නවා. ඒක හරිම තෘප්තිමත් දෙයක්. මම මෙම වරප‍්‍රසාදය අයුතු ලෙස ප‍්‍රයෝජනයට නොගෙන පුද්ගලයෙක් තුලට ඇතුල් වෙනව.

milla-jovovich-photographed-by-peter-lindberg-in-1996

රියා –  ඔබ සිනමාවේ, මාධ්‍යයේ, සහ විලාසිතා ලෝකයේ ප‍්‍රසිද්ධ පුද්ගලයින්ව ඡායාරූපගතකරල තිබෙනව. ඔබ පැමලා ඇන්ඩර්සන්ගේ සිට නයෝමි කැම්බෙල් දක්වා, ඉසබෙලා රොසලින්ගේ සිට මැඩෝනා දක්වා ඡායාරූපගතකරල තිබෙනවා. ඔබ මේ සියල්ලන්ටම ඔවුන් සතුටුවන ආකායේ සුන්දරත්වයේ හා අව්‍යාජත්වයේ ප‍්‍රතිරූපයක් ලබා දීල තිබෙනවා. මේ සියළු ස්ත‍්‍රීන්ට අවශ්‍යයි ඔබට කියල ඒ අයගේ ඡායාරූප ගන්න. ඒත් ඒ දෙයට හුවමාරුවට මොවුන් සමග ඇති සම්බන්ධය හරහා ඔබ මොනවද ලබා ගන්නේ?

ලින්ඞ්බර්ග් – මේ හරහා මට ලැබෙන වන්දිය තමයි මම ඡායාරූපගතකරන කෙනා තුළ මම දකින යම්කිසි “දෙය” යථාර්තවත් කරගැනීමට මට හැකිවීම. ඇත්තවශයෙන්ම සිත්ගන්නාසුළු පෞර්ෂයන් සමග වැඩ කිරීමට ලැබෙන එක තෘප්තිදායක අත්දැකීමක්.

රියා – ඔබ කවදාහරි ඔබ ඡායාරූපයට නගන ස්ත‍්‍රීන් සමග පුද්ගලික මිත‍්‍ර සම්බන්ධකම් පවත්වල තිබෙනව ද? එහෙම නැත්නම් ඔබ ඔබගේ පුද්ගලික සම්බන්ධකම් හා වෘත්තීය සම්බන්ධකම් අතර තද බෙදීමක් පවත්වාගන යනවා ද? කෙටියෙන් කියනවානම්, ජීවිතය හා නිර්මාණ අතර කුමන ආකාරයක සම්බන්ධයක් ද තිබෙන්නේ?

09SUBwell-cannes-copy-blog480-v2

ලින්ඞ්බර්ග් – මම මුලින්ම ඉසබෙලා රොසලින්ව ඡායාරූපයට නැගුවේ වසර පහලොවකට හෝ එයටත් වඩා කාලයකට ප‍්‍රථමයි. අප තවමත් එකට වැඩ කරමින් සිටිනව. මම මිලා යොවොවිච් ව ඡායාරූපයට නැගුවේ වසර ෙදාලහකට ප‍්‍රථම ඇයට වසර දා හතරක් වන විටයි. මම දිගු කාලීන සම්බන්ධයන්ට, ඇත්තටම කියනවනම් ඉතාම දීර්ඝකාලීන සම්බන්ධයන්ට පුරුදු වුනු කෙනෙක්. මම නයෝමි ව වසර දහයක සිට ඡායාරූපගතකරමින් සිටිනව. එ් වගේම ලින්ඩා ඉවන්ගලිස්තාව වසර ෙදාලහක සිට ඡායාරූපගත කරමින් සිටිනව. මම ලින් කොඉස්ටර්ව ඡායාරූපගතකලේ වසර ෙදාලහකට කලිනුයි. මම අවුරුදු හතරක පහක විරාමයකට පසු යලිත් ඇයව ඡායායාරූපගතකිරීමට පටන් ගත්තා. මොකද ඇය තවම ඉතාම ලස්සනයි සහ සිත්ගන්නාසුළුයි. මේ සම්බන්ධකම් සියල්ල ඉතාම පුද්ගලික සම්බන්ධකම් සහ මිත‍්‍රකම්. ඒවා කවදාවත්ම පොදු සම්බන්ධයන් මත පදනම් වූයේ නැහැ. ඒ වගේ දෙයක් කිසිසේත්ම මට බාරගතනොහැකි දෙයක් වේවි.

රියා – ජපානයේ බුන්කමුරා මියුසියම් ඔෆ් ආර්ට් හි පැවති ඔබගේ මෑත කාලීන “ඉමේජස් ඔෆ් විමෙන්” ප‍්‍රදර්ශනයේ සුවිශාල සාර්ථකත්වයෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි බටහිර නොවන රටවල, විශේෂයෙන් ජපානයේ, බටහිර ස්ත‍්‍රීන්ව අගය කිරීමට හා ගෞරවයෙන් සැලකීමට භාජනය වෙනව කියන එක. ඔබ මොන ආකාරයටද ඔබගේ කෘති සදහා ඇති විශ්වීය මට්ටමේ අගය කිරීම තේරුම් කරන්නේ?

ලින්ඞ්බර්ග්  මෙම ඡායාරූපවල සිටින ස්ත‍්‍රීන්ගේ පෙනුම, අභිනය හෝ ඉරියව්ව මොකක්ද කියන එකවත්, ඔවුන් කවුද, ඔවුන් යුරෝපීයද, අප‍්‍රකානුද, යන්න කියන එකවත් මෙතනදී වැදගත් නැහැ. ලෝකය කුඩා වෙමින් පවතිනව. මේ නිසා බහු සංස්කෘතික ප‍්‍රවේශයක් ඇතිවෙලා තිබෙනව. අවම වශයෙන් තාක්ෂණය සහ මෝස්තර හුවමාරුව මත පදනම් වුනු කාර්මීකරණය වූ රටවල් තුල මේ දෙය සිදුවී තිබෙනව. මේක එක්තරා ආකාරයක ඡාත්‍යාන්තරීකරණයක්

පරිවර්තනය – ජීවන කාච

ජේම්ස් නට්වේ සහ යුධ විරෝධී ඡායාරූපකරණ කලාව. James Nachtwey

සැප්තැම්බර් 11, 2011

ජේම්ස් නට්වේ  සහ යුධ විරෝධී ඡායාරූපකරණ කලාව

ජායාරූපයන් ඉතිහාසය වාර්තාගතකරණවා පමණක් නොවෙයි එය ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමටත් උදවු කරන බව ජේම්ස් නට්වේ පවසනව. ඔහු එය ඉගෙන ගත්තෙ 60 දශකයේ ඔහුගේම ජීවන අත්දැකීම් තුලින්. 60 දශකය කියන්නේ විප්ලවීය දශකයක්. නැට්වේ ජීවත් වූ ඇමෙරිකාව හරහාත් මේ විප්ලවීය රැල්ල හඹා ගියා. සිවිල් අයිතිවාසිකම් සඳහා අරගලයන් සහ යුධ විරොධී අරගලයන් සියළු තැන්වල ඇවිලී ගොස් තිබුණ. පාලකයන් හා හමුදා නායකයන් වියට්නාම් යුද්ධය  ගැන මහජනයාට කියූ දේවල් වලට හාත්පසින්ම වෙනත් චිත‍්‍රයක් ජායාරූපකරුවන් ඒ ගැන කියමින් සිටිය. මෙය යුද්ධය පිළිබඳ විකල්ප චිත‍්‍රයක් නිර්මාණය කලා පමණක් නෙමෙයි යුද්ධයට විරුද්ධව විශාල මහජන විරෝධයක් නිර්මාණය කලා. ඡායාරූපකරණය කියන්නේ කෙතරම් බලපෑම් සහගත මාධ්‍යයක්දැයි තේරුම් ගත්තේ මෙම අත්දැකීම් වලින්.


යුද්ධය ඡායාරූපයට නැගිය යුත්තේ ඇයි. යුද්ධය කියන්නේ මිනිස් ඉතිහාසය පුරාම පැවතුණු එක්තරා ආකාරයක මානව ක‍්‍රියාකාරීත්වයක ආකෘතියක්. මෙය ඡායාරූපකරණය හරහා නැවැත්විය හැකිද? මෙවැනි ප‍්‍රකාශයක් විහිළු සහගත ලෙස අසමබර බව පෙනෙන්නට පුළුවන්. ඒත් මේ අදහස තමයි නට්වේව ඡායාරූපකරණයට යොමු කලේ.  “මට අනුව ඡායාරූපකරණයේ ශක්තිය රුදිල තිබෙන්නේ එයට මානවීයත්වයේ හැගීම මතු කිරීමට තිබෙන හැකියාව මතයි. යුද්ධය කියල කියන්නේ මානවීයත්වය නිෂේදනය කරන දෙයක් නම් ඡායාරූපකරණය එහි විරුද්ධ පැත්ත ලෙස අපට දකින්නට පුළුවන්.” නට්වේ කියන්නේ ඡායාරූපකරණය ඉතා හොඳින් භාවිතා කළහොත් එය මඟින් යුද්ධයට විරුද්ධව බලපෑම් සහගත ප‍්‍රතිරෝධයක් ජනිත කරවිය හැකි බවයි.

වාර්තා ඡායාරූපකරණයේ බලපෑම, එහි අදාලත්වය සහ එහි ආචාරධර්ම පිළිබඳ විශාල සංවාදයක් අද ලෝකයේ ඇති වෙලා තිබෙනව. අද ලෝකයේ මතුවී ඇති අර්බුධයන් හා සසඳා බලනවිට පුංචි ඡායාරූපයකට කරන්න පුළුවන් බලපෑම මොකක් ද කියන එක ප‍්‍රශ්නයක්. ඒත් අපි අවට ඇති සිදුවීම් අපි කරා ගෙන එන්නේ මීට ප‍්‍රතිවිරුද්ධ චිත‍්‍රයක්. අද වාර්තා ඡායාරූපකරණයට ලෝකයේ සෑම තැනකම විශාල වාරණයන් පැනනැගිල තිබෙනව. ස්වාධීන ඡායාරූප ශිල්පියකුට අද ලෙහෙසියෙන් ගැටළුවක් ආවරණය කරන්න අවසර ලබාගන්න අමාරුයි. ඒ එකපැත්තක්. තවත් පැත්තකින් විශාල සමාගම් වාර්තා ඡුායාරූපකරණ ක‍්‍රියාවලියට ඇතුළු වී තිබෙනව. විවිධ රටවල පාලන තන්ත‍්‍රයන් තමන්ගෙ රටවල ගැටළු ආවරණය කිරීමට මෙම සමාගම්වලට ඇණවුම් ලබා දෙනව. මේ මගින් සිදුවීම් පිළිබඳ කලින් සැකසූ චිත‍්‍රයක් තමයි අපහට ලැබෙන්නෙ. ඡායාරූපකරණය බලපෑම්සහගත දෙයක් නොවේනම් ඇයි ඒ ක‍්‍රියාවලිය පාලනය කරන්න මෙතරම් උත්සාහ කරන්නේ? ඇත්තටම වාර්තා ඡායාරූපකරණයට සමාජයට බලපෑමක් කරන්න බැරිනම් මෙවැනි තත්වයක් ඇති වීමට හැකියාවක් නැහැ.

ඇමෙරිකානු-වියට්නාම් යුද්ධ කාල සීමාව තුළ ඡායාරූප මගින් කරන ලද බලපෑම පිළිබඳව ලෝකයේ බොහොමයක් රජයයන් දැන් දැනුවත්. එම නිසා දැන් රජයන් වගේම රජයන්ට විරුද්ධව සටන් කරන පාර්ශවයන් ගැටුම් වාර්තාකරණයට ඉඩ දෙන්නෙ ඉතාම පරිස්සම් සහගතව. මෙම නිසා වෙනදාටත් වඩා ස්වාධීන වාර්තා ඡායාරූපකරණ භාවිතයක අවශ්‍යතාව අද වැඩි වෙලා තිබෙනව. ස්වාධීන කියන අදහස ගැටළුකාරී තමයි. මොකද හැම කෙනෙකුටම යම් පක්ෂපාතීත්වයන් හා දේශපාලන මතයන් තිබෙන නිසා. නුමුත් එම ගැටළුවට මුහුණ දීමේ ක‍්‍රමය වාර්තාකරණයට තිබෙන අවකාශය සීමා කිරීම ද, එසේත් නැත්නම්  විවිධ මානයන්ගෙන් සිදුවීමේ සංකීර්ණත්වය ග‍්‍රහණයකිරීමට හැකිවන සේ එම අවකාශය පුළුල් කිරීම ද යන්න අප හමුවේ ඇති ගැටළුවක්. නට්වේ ගේ ඡායාපකරණය අපව මේ පිළිබඳව සිතීමට හොඳ ආරම්භයක්.

ජේම්ස් නට්වේ

http://www.jamesnachtwey.com/

රට ගිනි ගන්නා වෙලාවේ ගස් ගල් වල පින්තූර ගන්න අපේ ඡායාරූප ශිල්පියෝ.

ජූනි 14, 2010

තමන්ගේ දරුවට කිරි ටිකක් මිලදී ගැනීමට නොහැකිව අඩා වැටෙන දහසක් මවුවරුන් මැද, යුද්ධයෙන් මියගිය තම පෙම්වතාගේ ඡායාරූපය දෙස බලමින් සෝ සුසුම් නගන දහසක් පෙම්වතියන් මැද, ඉතිරී වී ඇති තම දෙඅතින් යලි නැගිටීමට වෙර දරන දහසක් අබාධිත සොල්දාදුවන් මැද, අපට පුළුවන්ද වසන්තය ගැන ගී ලියන්න. බැස යන හිරු කාචයකින් සිතුවමකට නගන්න. ලෝකයේ මනුෂ්‍යත්වය අහිමි වී යන මොහොතක එය නොදකින දෑසකට පරිසරය පමණක් හැගුම්බරව පෙනේවිද? දැනේවිද? එය ව්‍යාජයක් නොවේද?

ඩොරෙතා ලෑන්ගෙ  විශිෂ්ඨ කලා නිර්මාණයක් වූ  “සංක‍්‍රමණික මව” ඡායාරූපය – 1936

ඒ 1930 දශකයයි. පළමු ලෝක යුද්ධය අවසන් වී ගතවී තිබුනේ වසර දහයකටත් අඩු කාලයක්. මුළු ලෝකයම මහා ආර්ථික අවපාතයකින් ගිල ගනිමින් පැවතුන. එතකොට ඇන්සල් ඇඩම්ස්ට අවුරුදු විසිගණනක් පමණ ඇති. යාන්තම් ඡායාරූප ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වයක් ලබාගත්තා පමනයි. ඒත් ඇන්සල් තෝරාගෙන සිටි ඡායාරූප ක්ෂේත‍්‍රය හතරවටින්ම ප‍්‍රහාරයට ලක්වෙමිනුයි තිබුනෙ. මේ වගේ කාලයක සමාජ ප‍්‍රශ්න පිළිබඳ අමතක කරල ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක කෙතරම් අසංවේදී වැඩක්ද?

තරුණ ඇන්සල් ට පමණක් නෙමෙයි මේ ප‍්‍රශ්නය බලපෑවෙ. ඒ යුගයේ බොහෝ කලා කරුවන් කලා කාරියන් තමන්ගේ කලාවේ අරමුණ ගැන නැවත සිතමිනුයි සිටියෙ. හැම රටකම දේශපාලන තත්වයන් ගොඩක් ගිනියම් වෙලා තිබුන. සමාජවාදීන් කිව්වෙ කලාවෙ අරමුණ විය යුත්තෙ ජනතාව දැනුවත් කරන එක කියල. ඒ කාලයෙ ශීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වෙමින් පැවතුන ෆැසිස්ට් දේශපාලන ධාරාවෙ අය කිව්වේ කලාවෙ අරමුණ වෙන්න  ඕනෙ ශිෂ්ඨත්වය, රට, ජාතිය මතු කරල පෙන්නන එක කියල. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් කලාව සැලකුවෙ උසස් රස වින්දනයට අදාල දෙයක් ලෙසටයි.

“ලෝකයම කැබලි වෙමින් තිබෙනව. ඇඩම්ස් සහ වෙස්ටන් ගස් ගල් ඡායාරූපයට නගමින් ඉන්නව.” සුප‍්‍රකට කලාකරුවෙකු වූ කාතියේ බෙසාන් මේ විදියට තමයි ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක විවේචනයට ලක් කලේ. තරුණ ඇන්සල්ගෙ කලා භාවිතය මෙම විවේචන වලින් දරුණු විදියට වෙව්ලූම් කෑව. ඒත් ඇන්සල්ට පුළුවන්ද ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක නවත්වන්න? පරිසරය සමඟ ඇන්සල්ට තිබුනෙ හරිම ගැඹුරු සම්බන්ධයක්. තමන්ගෙ ජීවිතයෙ ගැඹුරුම සත්‍යයෙන් වියෝ වුන කලාකෘතියක් තවදුරටත් සැබෑ කලාකෘතියක් වේවිද?

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

ඇන්සල් ඇඩම්ස් ඉපදුනේ 1902 වසරෙ ඇමෙරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයෙ. ඔහු කුඩා කාලයෙ එතරම් නිරෝගී ළමයෙක් නෙමෙයි. නිතරම එයාට ලෙඩ රෝග වැළදුන. ඒ වගේම එයාව සැලකුනෙ අධි ක‍්‍රියාකාරී ළමයෙක් ලෙසටයි. මේ හේතුව නිසා එක පාසලක එයාට වැඩි කාලයක් ඉන්න ලැබුනෙ නැහැ. මේ අතරෙ 1906 සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයෙ විශාල භූමිකම්පාවක් ඇතිවුන. ඇන්සලූත් එයින් තුවාල ලැබුව. මුළු පවුලම විශාල ආර්ථික අර්බුදයකට පත්වුනා. ඇන්සල්ගෙ අම්මට ආතතිය හැදුන. එතැන් සිට ඇන්සල්ගෙ ළමා විය කොහොමටත්ම සුන්දර එකක් වුනේ නැහැ.

ඇන්සල්  කියන්නෙ හසුරවන්නට ඉතාම අපහසු ළමයෙක්. එක් පැත්තකින් එයා හරිම ක‍්‍රියාකාරීයි. ඒත් තවත් පැත්තකින් එයා හරිම හුදකලයි. ඒ වගේම එයා ගොඩක් බුද්ධිමත්. එයා තුළ විශාල ශක්තියක්, ජීවයක් තිබුන. ඒත් මේ ශක්තිය කිසිම අරමුණකින් තොරව පාලනයකින් තොරව එයා තුළ විසිරිලයි තිබුනෙ. දරුණු ආර්ථික ප‍්‍රශ්න තියන මොහොතක මේ වගේ ළමයෙක්ව ඉවසගෙන ඉන්න එක දෙමාපියන්ට හරිම අසීරු වැඩක්. ඒත් ඇන්සල්ගෙ පියා ඇන්සල්ව පාලනය කරනව වෙනුවට ඇන්සල්ගේ මේ ජීවය පෝෂණය කරන්න උත්සාහ කලා.

ඇන්සල්ගෙ පියා නගරයේ හිටපු දක්ෂතම පුද්ගලික ගුරුවරු මාර්ගයෙන් ඇන්සල්ට අධ්‍යාපනය ලබා දුන්න. එයාට ගෙවීමෙ ක‍්‍රමයට ඩොලර් 6000ක පියානෝවක් ගෙනල්ල දුන්න. මුළු ලෝකයම ඇන්සල්ව අත හරින මොහොතක ඇන්සල්ගෙ පියා ඇන්සල්ව සැලකුවෙ තමන්ගෙ මුළු ලෝකයම විදියට. ඇන්සල් තදින් සංගීතයට යොමුවුනා. ඔහු තුල විසිරිල තිබුනු ශක්තිය සංගීතය ඇතුලෙ ක‍්‍රමයෙන් එක අරමුණකට යොමු වුන. මෙතෙක් කැඞී බිදුනු අවුල් සහගත දෙයක් ලෙස පෙනුන ලෝකය විවිධ රිද්මයන්, විවිධ හැඩතලයන්, සියුම් සම්බන්ධයන් සහිත තැනක් ලෙසට ඇන්සල්ට පෙනෙන්නට ගත්ත.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

එත් ඇන්සල්ගෙ පීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනෙ තවත් ආකාරයක සංගීතයක් එයාගෙ ජීවිතයට හමු වුනාට පසුවයි. වසර 14 දී අසනීපයෙන් ඉන්න මොහොතක ඇන්සල්ගෙ නැන්ද කෙනෙක් ඇන්සල්ට ලස්සන පොතක් ගෙනල්ල දුන්න. ඒ පොතේ තිබුනෙ සියේරා නෙවාඩා කදුකරයෙ යොසෙමීට් සානුව ගැන. ඒ සානුවෙ ජීවත්වුනු ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිස්සු ගැන. පරිසරයත් එක්ක ඔවුනට තිබුනු අපූර්ව සම්බන්ධය ගැන.

කුඩා ඇන්සල්ගෙ සිතුවිලි ලෝකය යොසෙමීට් සානුවෙ ගූඪ චමත්කාරයෙන් වෙලා ගැනුන. ඇන්සල්ගෙ පියා 1916 වසන්තයේදී ඔහුව සියේරා නෙවාඩා කදුකරයට රැගෙන ගියා. ඒ වගේම එයාට ඒ ගමනෙදි තවත් තෑග්ගක් හමුවුන. ඒ තමයි කොඩැක් බ‍්‍රවුනි කැමරාවක්. අප දන්න ඇන්සල් ඇඩම්ස්ගෙ ජීවිතය පටන් ගැනෙන්නෙ මෙතැන් පසුයි.

ඇන්සල් ඇඩම්ස්ගෙ චමත්කාරජනක ඡායාරූපයන් දකින විට ඒ තුළ අපට මුලික බලපෑම් දෙකක් අදුනගන්න පුළුවන්. එකක් තමයි සංගීතය. “පියානොවේ යතුරු 88 ක් තිබෙනව. සංගීත නිර්මාණයේදී අපි ඒ යතුරු සියල්ල උපයෝගී කරගත යුතුයි. ඒ වගේම තමයි ඡායාරූපකරණයත්. කළු වර්ණය හා සුදු වර්ණය අතර වර්ණ සංයෝගාකාරයන් 88ක් පමණ තියෙනව. ඡායාරූපයක් නිර්මාණය කරත්දී ඒ සියලූ දේ අප භාවිතා කල යුතුයි. ඒවා භාවිතා කරන ආකාරය අප දැන සිටිය යුතුයි” ඇන්සල් සංගීතය හා ඡායාරූපකරණය අතර සම්බන්ධය දකින්නේ ඒ ආකාරයටයි.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

ඇන්සල්ගෙ ඡායාරූපකරණයට බලපෑ අනිත් ප‍්‍රධාන හේතුව තමයි පරිසරය සමඟ ඔහුට තිබුණු හෘදයාංගම සම්බන්ධය. ඇන්සල්ගෙ තරුණ කාලයේ පරිසරය ගැන සමාජයෙ තිබුනෙ හරිම උපයෝගීතාවාදී අදහසක්. ඒ කාලය ලෝකය තදින් කාර්මිකකරණය වෙමින් පැවතුන යුගයක්. බොහෝ දෙනා විශ්වාස කලේ පරිසරය කියන්නෙ මිනිසුන්ගෙ අවශ්‍යතාවලට යොදාගන්න තිබෙන දෙයක් කියලයි. තාක්ෂණ දියුණුව නිසා පරිසරය මිනිස්සුන්ට මෙල්ල කරගන්න පුළුවන් කියල ලොකු විශ්වාසයක් ඒ කාලයෙ ඇතිවෙලා තිබුණ.

ඇන්සල්ට එයාගෙ නැන්ද ගෙනල්ල දුන්න පොතේ හිටපු ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිසුන් පරිසරය ගැන දැක්වුවේ වෙනම ආකල්පයක්. අපට පුළුවන්ද පරිසරයෙන් තොරව අප ගැන සිතන්න. අපේ ජීවිතය කියන්නෙ මේ විශාල පරිසර පද්ධතියෙ එක් කුඩා අංශුවක් පමණයි. ඒ පද්ධතියට කරන  ඕනෑම බලපෑමක් අප අපටම කරගන්නා බලපෑමක්. පොළව මිනිස්සුන්ට පුද්ගලිකව වෙන් කරගන්න පුළුවන් දෙයක් කියන අදහස ඒ ගොල්ලන්ට කොහෙත්ම තේරුම් ගන්න බැරිවුන. ඔවුන් පරිසරයට සැලකුවේ දේවත්වයෙන්.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

ඒත් අළුතින් ඇතිවෙල තිබුණු තාක්ෂණික දියුනුවෙන් මත්වෙල හිටපු බොහෝ දෙනෙක් මේ අදහස් සැලකුවෙ මෝඩ අවිද්‍යාත්මක අදහස් ලෙසටයි. ඔවුන් මේ මිනිස්සුන්ව බලහත්කාරයෙන් කුඩා ප‍්‍රදේශ වලට කොටු කලා. ඒ අයගෙ ළමයින්ව දෙමවුපියන්ගෙන් වෙන්කරල ඒ අයට බලෙන් “නව දැනුම” ඉගැන්නුව. ඒකට අකමැති වුනු අයව මරල දැම්ම. ඒ කාලයෙ මූලික සංවාදය වුනේ පරිසරය මෙල්ල කරල ගන්න සම්පත් බෙදාගන්නෙ කොහොමද කියන එක. ඒවා තරගකාරී විදියට මිනිසුන්ට ලබාගන්න දෙනවද? එහෙම නැත්තම් සමානව මිනිසුන් අතරෙ බෙදල දෙනවද?

ඒත් ස්වභාවධර්මය එහෙම මිනිස්සුන්ට බෙදාගන්න පුළුවන් දෙයක්ද? ඇන්සල් ගමන් කලේ වෙනම පාරක. එයා උත්සාහ කලේ ස්වභාවධර්මයත් එක්ක අපගේ තිබෙන ගැඹුරු සම්බන්ධය ඡායාරූපයට නගන්න. කැමරා කාචයකින් ස්වභාවධර්මයේ සිතුවිලි වලට සවන් දෙන්න. ඒ සමග කතා කරන්න. එහි විවිධාකාර රහස්, රිද්මයන් සොයා යන්න. එයා තමන්ගේ තරුණ කාලයම කැප කලේ ඒ සඳහායි.

ඇන්සල් වැඩ කලේ ආර්ථික අමාරුකම් රාශියක් මැද්දේ. ඒ කාලයෙ ඡායාරූපකරනය ආර්ථික අතින් යැපීමට තරම් දියුණු වෙලා තිබුනු ක්ශේත‍්‍රයක් නොවෙයි. ඔහු දිනකට පැය 20ක් පමන වැඩ කලා. මේ අසීරුතා මැද ඡායාරූප ඉතිහාසයේ නිර්මාණය වුනු ශ්‍රේෂ්ඨතම ඡායාරූප රාශියක් නිර්මාණය කරන්න ඇන්සල්ට හැකි වෙලා තිබෙනව. ඒ වගේම ස්වභාවධර්මය ගැන සමාජ ආකල්ප වෙනස් කරන්න ඇන්සල්ගෙ කලා නිර්මාණයන් විශාල වශයෙන් දායක වෙලා තිබෙනව.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

ඒත් සමාජ ප‍්‍රශ්න ඡායාරූපයට නගන එක වගේම ස්වභාවධර්මය ඡායාරූපයට නගන එකත් දේශපාලනිකයි කියල කවුරුත් ඒ කාලයෙ පිලිගත්තෙ නැහැ. ඒත් ඇන්සල් ඇඩම්ස්ගෙ අදහස වුනේ වාර්තා ඡායාරූපකරණය ඉතා ඉහල මට්ටමෙන් නොපැවතුනොත් එය හුදු ප‍්‍රචාරකවාදයක් වෙනව කියලයි.

ඇන්සල්ගෙ කාලයට වඩා අද වෙනස්. බොහෝ පරිසරය ගැන උනන්දුවෙන් කතා කරනව. පරිසර ප‍්‍රශ්නය අපගේ යුගයේ ප‍්‍රධානතම සමාජ ගැටළුවක් බවට පත් වෙලා. ඒ සම්බන්ධයෙන් දේශපාලන ව්‍යාපාර පවා ඇතිවෙලා තිබෙනව. පරිසරය රැකගැනීම වෙනුවෙන් වැඩ කරනව කියන එක මිත්‍යාදෘෂ්ධියක් හෝ මෝඩකමක් කියල කියන අය අද අඩුයි. ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිසුන්ගේ පරිසරය ගැන ආකල්ප අද පරිසර ව්‍යාපාරවල තේමාවන් බවට පත්වෙලා.

ඇන්සල්ගෙ තරුණ කාලයේ බොහෝ දෙනා ධනවාදය වෙනුවෙන්, සමාජවාදය වෙනුවෙන්, ෆැසිස්ට්වාදය වෙනුවෙන් තමන් වැඩකරනව කියල ආඩම්බරයෙන් කියපු ආකාරයටම අද කෙනෙකුට පරිසරය වෙනුවන් තමන් වැඩ කරනව කියල කියන්න හැකියාවක් අත්වෙලා තියෙනව. අද වාර්තා ඡායාරූපකරණය තුළට පරිසර ප‍්‍රශ්න වාර්තාකරණයත් පිවිසිල.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

ඉස්සර වගේ අද ගොඩක් අය ප‍්‍රසිද්ධියෙ තමන් ධනවාදී, ෆැසිස්ට්වාදී හෝ සමාජවාදී කියල අදුන්වගන්න එක දකින්න අමාරුයි. පරිසරවාදය අද එතැනට ඇවිල්ල වගේ. මිනිස්සු පරිසරයට වඩා ප‍්‍රමුඛයි කියන එකයි, පරිසරය මිනිසුන්ට වඩා ප‍්‍රමුඛයි කියන එකයි එකම කාසියෙ දෙපැත්ත වගේ. මිනිසුන් හැමදාම අන්තවාදයන් වෙත ඇදී යන්නෙ කෙතරම් පහසුවෙන්ද? හරියට පහන් දැල්ලක් වෙතට නොදැනීම ඇදීයන මෙරුවන් වගේ.

දේශපාලන මතවාදයන් එනව යනව. එක කාලයක ගොඩක් වැදගත් කියල හිතෙන දේ තවත් කාලයක නොවැදගත් කියල හිතෙනව. එක යුගයක විප්ලවීය වෙන දේවල් තව යුගයක සම්ප‍්‍රදායික දේ බවට පත්වෙනව. ඒත් සමහර කලා කෘති සැමදා පවතිනව. යුගයේ කලාකරුවෙක් වෙන්න දහසකුත් එකක් විධි තියෙනව. එත් සැමදා පවතින කලා නිර්මාණයක් කරන්න තියෙන්නෙ එකම එක විදියයි. ඒ තමන්ගෙ කලාව එක්ක තියෙන භාවිතාව වඩ වඩා ගැඹුරු කරගන්න එක, එයට තියෙන ආශාව අත් නොහරින එක, දිගින් දිගටම කලා නිර්මාණ කරන එක.

එකම යුගයක මාර්ග දෙකක ගමන් කරපු ඇන්සල් ඇඩම්ස්ගෙ ඡායාරූපයනුත්, කාතියෙ බෙසාන්ගෙ ඡායාරූපයනුත්, පොදුවෙ අද සැලකෙන්නෙ සමාජයට විශාල දේශපාලනික බලපෑමක් කළ කලා නිර්මාණ ලෙසට. විවිධ ධාරාවන්ට අයත් වුනත් ඒවාට පොදු එක ලක්ෂණයක් තිබෙනව. ඒව කලාත්මක ලෙස ඉතාමත් උසස් ගනයේ නිර්මාණයන්. ඒ නිසාම සෑම යුගයකම මිනිස්සුන්ගෙ සිතුවිලිවලට බලපෑම් කරන්න ඒවට පුළුවන් වෙලා තිබෙනව. කලා කෘතියක් වඩ වඩා කලාත්මක වන විට එය වඩ වඩා දේශපාලනික වෙනව.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

“අපට තේරුම් කරන්න ගැඹුරු දෙයක් තියනව. ඒ තමා මනුශ්‍යත්වය කරා අපසු යෑම. ස්වාභාවික දේ ගැන, අහස ගැන, කදු වැටි ගැන යම් ආකාරයක සමබර දැක්මක් අත් කර ගන්න එක. අපට ජීවත් වීමට, දෑතට ගැනීමට පොළව බිඳක් අවශ්‍යයි. සමහරවිට ඡායාරූපකරණයට එය කල හැකි වේවි. මගේ උත්සාහය ඒකයි.” ඇන්සල් ඇඩම්ස් එයාගෙ ඡායාරූපකරණය ගැන එසේ පවසනව.

ලංකාවේ තරුණ ඡායාරූප ශිල්පීන්, ශිල්පිණියන් රාශියකගෙ නිර්මාණ අන්තර්ජාලය හරහා අප දකිමින් සිටිනව. මේවායින් බොහොමයක් ස්වභාවධර්මය ගැන ඡායාරූපයන්. එකම ඉර සිය විදියකට ගනිමින්, එකම සමනළයා කෝණ සියයකින් ගනිමින් කරන මේ විකාරය මොකක්ද කියල අපට සමහර විටක හිතෙනව. අප හැමදාම දකින දේ තුළ ඔවුන් මෙතරම් මේ සොයන්නෙ මොනවද. මේ වගේ කාලයක කරන්න වෙන වැදගත් වැඩ නැත්ද? ඒත් කලාවට කොහෙද කෙටි මාවත්?  කලා කරුවන්ගෙන් කලා නිර්මාණ බලෙන් ගන්න යන එක රත්තරන් බිත්තර ගන්න යනව වගේ වැඩක්. අපූර්ව කලා නිර්මාණ බිහිවන්නෙ එය නිර්මාණය කරන කලාකරුවාත් පුදුමයට පත්කරමින්. ඒ මොහොත වෙනකම් අපි බලා ඉමු.

ජීවන කාච

ඇන්සල් ඇඩම්ස් ගැන විස්තර ගත්තෙ රික් බර්න්ස් අධ්‍යක්ෂණය කල “ඇන්සල් ඇඩම්ස්” වාර්තා චිත‍්‍රපටයෙන් – 2004

තීරණාත්මක නිමේශය- හෙන්රි කාතියේ බ්‍රෙසන්

මැයි 31, 2010

ඩෙනිස් හොපර් තමන්ගේ සිනමා දිවිය ආරම්භ කරන ලද්දේ වසර විස්සේදී “රිබෙල් විතවුට් අ කෝස්” නැමති චිත‍්‍රපටයයෙහි රගපෑමෙනි.ඔහු චිත‍්‍රපට ගනනාවක් අධ්‍යක්ෂණය කර ඇත. 1969 දී සම්මානයට පාත‍්‍ර වූ “ඊසි රයිඩර්” චිත‍්‍රපටයත්, 1988 වසරේදී තිරගත වුනු “කලර්ස්” චිත‍්‍රපටයත් ඒ අතරින් කිහිපයකි. ඔහු 2010/05/29  දින මියගිය අතර ඒවන විට ඔහුගේ වයස වසර 74ක් විය. මේ ලිපිය ඔහු කලා ක්ෂේත‍්‍රය වෙත කරනු ලැබූ දායකත්වය සිහිකිරීම වෙනුවෙන් පළ කිරීමට අපි අදහස් කලෙමු.

හෙන්රි කාතියේ බ්‍රෙසන් ගැන ඩෙනිස් හෝපර්…….

1995 වසරේදී මම දෙවැනි වසරෙ උපාධි අපේක්ෂකයෙක්. ඒ කාලයේ මම පදික වේදිකාවල සෑදී තිබුණු ඉරි තැලීම් හා මඟ දෙපස තාප්ප වල සමීප දර්ශන ජායාරූපයට නගමින් සිටියෙමි. මම නිරන්තර නිර්මාණකරනයේ යෙදුන කෙනෙක්. චිත‍්‍ර ඇදීම, මූර්ති නිර්මාණය, ඡායාරූප ගැනීම, මේ සියල්ල මම එක් දෙයක් ලෙසට සැලකුවෙමි. කවුරුන්හෝ මට හෙන්රි කාතියේ බ්‍රෙසන්ගේ “තීරණාත්මක නිමේශය” පොතෙහි පිටපතක් දුන් අතර එම පොත විසින් මාවත් මගේඡායාරූපකරණයත් වෙනස් කරනු ලැබීය. මම මින් පසු ඒ පොතෙහි තිබූ ආකාරයේ ඡායාරූපයන් ගැනීමට පටන් ගත්තා යැයි මම නොකියමි. නමුත් එය ඡායාරූපකරණය පිළිබඳ මා සතුව පැවති සංකල්පය වෙනස් කලේය. අප ඡායාරූපගත කිරීමට යන වස්තුව ඡායාරූපයට නැගිය හැකි තනි නිෂ්චිත මොහොතක් තිබෙනවා යන අදහස මෙම සංකල්පයයි. කාතියේ බ්‍රෙසන් මෙම අදහස “තීරණාත්මක නිමේශය” ලෙස හඳුන්වයි. තවදුරටත් කියවන්න…

කතාකරන ඡායාරූප – ඉසබෙල් අයන්ඬේ

අප්‍රේල් 25, 2010

මඩ අතර සිරවුණු ඔමයිරා සැන්චේස් දින තුනකට පසු

ඡායාරූපය-ෆ්රූන්ක් ෆෝර්නියර්

අපි ගොඩක් වෙලාවට අහල තියෙන්නෙ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරපු, ඒ අයට ගොඩාක් බලපාපු පොත් ගැන, චිත‍්‍රපටි ගැන, එහෙමත් නැත්නම් ගීත ගැන. ඡායාරූපයකටත් මිනිසෙක්ගෙ ජීවිතය වෙනස් කරන්න පුළුවන්ද? ඡායාරූපකරණය කියන්නෙත් ඒ වගේම අපගේ ජීවිතයට බලපෑම් කල හැකි කලාවක්ද? මේකට උත්තර සොයන්න තියෙන හොදම විදිය තමයි ඒ වගේ අත්දැකීමක් විදල තිබෙන කෙනෙක්ගෙන්ම  මේ ගැන අහන එක. ඉතින් මේ ඒ වගේ අත්දැකීමක් ගැන කතාකරන්නේ චිලියානු ජාතික ලේඛිකාවක් වන ඉසබෙල් අයන්ඬේ.

කතාකරන ඡායාරූප

මුළින්ම මම ඔමයිරා සැන්චෙස්ගේ රූපය දැක්කේ රූපවාහිණියෙන්. ඇගේ මුහුණ මට කොහොමටවත් අමතක කරන්න බැරිවුනා. මට හිතුනෙම ඇය මා දිහා බලාගෙන ඉන්නව කියලයි. ඒ 1985 වසර. ඒ කාලය මගේ ජීවිතයේ අමාරුම කාලයක්. එකින් එක රුකියාවට මාරුවෙමින්, ලේඛිකාවක් වෙනවාද නැත්ද යන්න සිතමින් තමයි මම ඒ කාලයේ සිටියේ. මේ වෙනකොටත් මම එක් පොතක් ප‍්‍රකාශනයට පත් කරල තිබුන. ඒ වගේම දෙවන පොතත්  ලියල අවසන් කරල තිබුන. ලේඛිකාවක් විදියට ජීවිතයක් ගොඩනගාගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කලේ නැහැ. මගේ විවාහයත් එතරම් සාර්ථකව නෙමෙයි පැවතුනේ. මගේ ළමයිනුත් මගෙන් ඈත් වෙමින් පාසැල් යාමට පටන් ගනිමිනුයි  සිටියේ. තවදුරටත් කියවන්න…

ඇගේ ඇසින් ලොව බලන්න – Women and Photography – 3

අප්‍රේල් 7, 2010

කාන්තා දිනය පහුවෙලා සති තුනක් ගතවුනා. ඒත් කාන්තාවන් හා ඡායාරූපකරණය ගැන අපේ කතාව තවම ඉවරකරගන්න බැරිවුනා. ඉතිං මේ තමයි ඒ ලිපියේ අවසාන කොටස. අපි මීට කලින් සතියේ පෝස්ට් එකේදි කතාකලේ 60 දශකයේ සිදුවුන විප්ලවය කලා ක්ශේත‍්‍රයටයි ඡායාරූපකරණයටයි බලපෑවෙ කොහොමද කියලයි. අපි මුලින්ම බලමු කාන්තාවන් හා ඡායාරූපකරණය අතර ඇති සම්බන්ධයට 60 දශකයේ සිදුවුනු මේ වෙනස්කම් බලපෑවෙ කොහොමද කියල.

ඡායාරූප ශිල්පිණී ඇන්ජලා ස්ටෙ‍්‍රසීම්ගේ ඡායාරූපයක්

60 දශකය කියන්නෙ කාන්තාවන්ටත් ගොඩක් වැදගත් වුනු දශකයක්. මේ වෙන තෙක් කාන්තාවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් සමාජයේ ලොකු හඩක් තිබුනෙ නැහැ. පිරිමි අය කාන්තාවන්ට තියෙන ප‍්‍රශ්න ගැන දැක්වුයේ අඩු අවධානයක්. අවධානයක් දක්වපු අය පවා කිව්වේ විප්ලවයෙන් පස්සෙ, ජාතික නිදහස දිනාගත්තයින් පස්සේ, සමාජවාදය උදාවුනායින් පස්සෙ කාන්තාවන්ගෙ ප‍්‍රශ්න විසදල දෙන්නම් වගේ කතාවන්. එත් මේවගේ අරගල දිනපු තැන් වල කවුරුත් මේ පොරොන්දු මේවන තෙක් ඉටු කරල තිබුනෙ නැහැ. ඒව ඔක්කොම දෙන්නම් කාසි ගනයට තමා අයිති වෙලා තිබුනෙ. ඉතින් මේ හේතුව නිසා 60 දශකයේදී කාන්තාවෝ ම තමන්ගේ ප‍්‍රශ්න පිළිබඳව සංවිධානය වෙල අරගල කරන්න පටන් ගන්නව. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසට 70 දශකය මුල භාගය වෙත්දී කාන්තාවන්ට පුළුවන් වෙනව ශක්තිමත් කාන්තා ව්‍යාපාරයක් නිර්මාණය කරගන්න.

තවදුරටත් කියවන්න…

කාන්තාව හා ඡායාරූපකරණය -2– Women and Photography

අප්‍රේල් 1, 2010

ඔන්න අපි දැන් කාන්තාව හා ඡායාරූපකරණය ගැන අපේ කතාවෙ ඉතුරු කොටස කතාතරන්නයි යන්නෙ.

අපි ගිය සතියෙ කතාකලේ මොනවද කියල ටිකක් මතක් කරගමු. කාන්තාව හා ඡායාරූපකරණය අතර තියන සම්බන්ධය මොකක්ද?, ඡායාරූපකරණයට සම්බන්ධ වෙලා ඉන්න කාන්තාවන් කවුද?, ඒ අයගෙ ඉතිහාසය මොකක්ද?, ඒ අයගෙන් ඡායාරූපකරණ ක්ෂේත‍්‍රයට වුනු දායකත්වය මොකක්ද?, ඒ අයගේ ප‍්‍රසිද්ධ නිර්මාණ මොනවාද?, කියන එක තමයි අපි කතා කලේ. ඡායාරූපකරණයෙ ඉතිහාසය අවුස්සල බලත්දි අපි හොයාගත්තා ඡායාරූපකරණය ආරම්භවුනේ යුරෝපයේ කාර්මික විප්ලවය සිදුවුනු කාලේ ඇතිවුනු තාක්ෂණික දියුනුවත් එක්ක කියල. එ වගේම යුරෝපයේ කාන්තාව ගැන තිබුනු පසුගාමී අදහසුත් කාන්තාව හා ඡායාරූපකරණය අතර සම්බන්ධයට බලපෑව බව අපි කතා කලා. මේ අදහස් 60 දශකයේදී වෙනස් වෙන්න පටන් ගන්නවා කියන තැනින් තමයි අපි කතාව නතර කලේ. අද එතැන ඉදල …..

ඡායාරූපය – ලානා ස්ලෙසික්

තවදුරටත් කියවන්න…

පසුහඹන්න

Get every new post delivered to your Inbox.