රට ගිනි ගන්නා වෙලාවේ ගස් ගල් වල පින්තූර ගන්න අපේ ඡායාරූප ශිල්පියෝ.
තමන්ගේ දරුවට කිරි ටිකක් මිලදී ගැනීමට නොහැකිව අඩා වැටෙන දහසක් මවුවරුන් මැද, යුද්ධයෙන් මියගිය තම පෙම්වතාගේ ඡායාරූපය දෙස බලමින් සෝ සුසුම් නගන දහසක් පෙම්වතියන් මැද, ඉතිරී වී ඇති තම දෙඅතින් යලි නැගිටීමට වෙර දරන දහසක් අබාධිත සොල්දාදුවන් මැද, අපට පුළුවන්ද වසන්තය ගැන ගී ලියන්න. බැස යන හිරු කාචයකින් සිතුවමකට නගන්න. ලෝකයේ මනුෂ්‍යත්වය අහිමි වී යන මොහොතක එය නොදකින දෑසකට පරිසරය පමණක් හැගුම්බරව පෙනේවිද? දැනේවිද? එය ව්‍යාජයක් නොවේද?
ඩොරෙතා ලෑන්ගෙ විශිෂ්ඨ කලා නිර්මාණයක් වූ “සංක‍්‍රමණික මව” ඡායාරූපය – 1936
ඒ 1930 දශකයයි. පළමු ලෝක යුද්ධය අවසන් වී ගතවී තිබුනේ වසර දහයකටත් අඩු කාලයක්. මුළු ලෝකයම මහා ආර්ථික අවපාතයකින් ගිල ගනිමින් පැවතුන. එතකොට ඇන්සල් ඇඩම්ස්ට අවුරුදු විසිගණනක් පමණ ඇති. යාන්තම් ඡායාරූප ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වයක් ලබාගත්තා පමනයි. ඒත් ඇන්සල් තෝරාගෙන සිටි ඡායාරූප ක්ෂේත‍්‍රය හතරවටින්ම ප‍්‍රහාරයට ලක්වෙමිනුයි තිබුනෙ. මේ වගේ කාලයක සමාජ ප‍්‍රශ්න පිළිබඳ අමතක කරල ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක කෙතරම් අසංවේදී වැඩක්ද?
තරුණ ඇන්සල් ට පමණක් නෙමෙයි මේ ප‍්‍රශ්නය බලපෑවෙ. ඒ යුගයේ බොහෝ කලා කරුවන් කලා කාරියන් තමන්ගේ කලාවේ අරමුණ ගැන නැවත සිතමිනුයි සිටියෙ. හැම රටකම දේශපාලන තත්වයන් ගොඩක් ගිනියම් වෙලා තිබුන. සමාජවාදීන් කිව්වෙ කලාවෙ අරමුණ විය යුත්තෙ ජනතාව දැනුවත් කරන එක කියල. ඒ කාලයෙ ශීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වෙමින් පැවතුන ෆැසිස්ට් දේශපාලන ධාරාවෙ අය කිව්වේ කලාවෙ අරමුණ වෙන්න ඕනෙ ශිෂ්ඨත්වය, රට, ජාතිය මතු කරල පෙන්නන එක කියල. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් කලාව සැලකුවෙ උසස් රස වින්දනයට අදාල දෙයක් ලෙසටයි.
“ලෝකයම කැබලි වෙමින් තිබෙනව. ඇඩම්ස් සහ වෙස්ටන් ගස් ගල් ඡායාරූපයට නගමින් ඉන්නව.” සුප‍්‍රකට කලාකරුවෙකු වූ කාතියේ බෙසාන් මේ විදියට තමයි ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක විවේචනයට ලක් කලේ. තරුණ ඇන්සල්ගෙ කලා භාවිතය මෙම විවේචන වලින් දරුණු විදියට වෙව්ලූම් කෑව. ඒත් ඇන්සල්ට පුළුවන්ද ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක නවත්වන්න? පරිසරය සමඟ ඇන්සල්ට තිබුනෙ හරිම ගැඹුරු සම්බන්ධයක්. තමන්ගෙ ජීවිතයෙ ගැඹුරුම සත්‍යයෙන් වියෝ වුන කලාකෘතියක් තවදුරටත් සැබෑ කලාකෘතියක් වේවිද?
ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්
ඇන්සල් ඇඩම්ස් ඉපදුනේ 1902 වසරෙ ඇමෙරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයෙ. ඔහු කුඩා කාලයෙ එතරම් නිරෝගී ළමයෙක් නෙමෙයි. නිතරම එයාට ලෙඩ රෝග වැළදුන. ඒ වගේම එයාව සැලකුනෙ අධි ක‍්‍රියාකාරී ළමයෙක් ලෙසටයි. මේ හේතුව නිසා එක පාසලක එයාට වැඩි කාලයක් ඉන්න ලැබුනෙ නැහැ. මේ අතරෙ 1906 සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයෙ විශාල භූමිකම්පාවක් ඇතිවුන. ඇන්සලූත් එයින් තුවාල ලැබුව. මුළු පවුලම විශාල ආර්ථික අර්බුදයකට පත්වුනා. ඇන්සල්ගෙ අම්මට ආතතිය හැදුන. එතැන් සිට ඇන්සල්ගෙ ළමා විය කොහොමටත්ම සුන්දර එකක් වුනේ නැහැ.
ඇන්සල් කියන්නෙ හසුරවන්නට ඉතාම අපහසු ළමයෙක්. එක් පැත්තකින් එයා හරිම ක‍්‍රියාකාරීයි. ඒත් තවත් පැත්තකින් එයා හරිම හුදකලයි. ඒ වගේම එයා ගොඩක් බුද්ධිමත්. එයා තුළ විශාල ශක්තියක්, ජීවයක් තිබුන. ඒත් මේ ශක්තිය කිසිම අරමුණකින් තොරව පාලනයකින් තොරව එයා තුළ විසිරිලයි තිබුනෙ. දරුණු ආර්ථික ප‍්‍රශ්න තියන මොහොතක මේ වගේ ළමයෙක්ව ඉවසගෙන ඉන්න එක දෙමාපියන්ට හරිම අසීරු වැඩක්. ඒත් ඇන්සල්ගෙ පියා ඇන්සල්ව පාලනය කරනව වෙනුවට ඇන්සල්ගේ මේ ජීවය පෝෂණය කරන්න උත්සාහ කලා.
ඇන්සල්ගෙ පියා නගරයේ හිටපු දක්ෂතම පුද්ගලික ගුරුවරු මාර්ගයෙන් ඇන්සල්ට අධ්‍යාපනය ලබා දුන්න. එයාට ගෙවීමෙ ක‍්‍රමයට ඩොලර් 6000ක පියානෝවක් ගෙනල්ල දුන්න. මුළු ලෝකයම ඇන්සල්ව අත හරින මොහොතක ඇන්සල්ගෙ පියා ඇන්සල්ව සැලකුවෙ තමන්ගෙ මුළු ලෝකයම විදියට. ඇන්සල් තදින් සංගීතයට යොමුවුනා. ඔහු තුල විසිරිල තිබුනු ශක්තිය සංගීතය ඇතුලෙ ක‍්‍රමයෙන් එක අරමුණකට යොමු වුන. මෙතෙක් කැඞී බිදුනු අවුල් සහගත දෙයක් ලෙස පෙනුන ලෝකය විවිධ රිද්මයන්, විවිධ හැඩතලයන්, සියුම් සම්බන්ධයන් සහිත තැනක් ලෙසට ඇන්සල්ට පෙනෙන්නට ගත්ත.
ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්
එත් ඇන්සල්ගෙ පීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනෙ තවත් ආකාරයක සංගීතයක් එයාගෙ ජීවිතයට හමු වුනාට පසුවයි. වසර 14 දී අසනීපයෙන් ඉන්න මොහොතක ඇන්සල්ගෙ නැන්ද කෙනෙක් ඇන්සල්ට ලස්සන පොතක් ගෙනල්ල දුන්න. ඒ පොතේ තිබුනෙ සියේරා නෙවාඩා කදුකරයෙ යොසෙමීට් සානුව ගැන. ඒ සානුවෙ ජීවත්වුනු ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිස්සු ගැන. පරිසරයත් එක්ක ඔවුනට තිබුනු අපූර්ව සම්බන්ධය ගැන.
කුඩා ඇන්සල්ගෙ සිතුවිලි ලෝකය යොසෙමීට් සානුවෙ ගූඪ චමත්කාරයෙන් වෙලා ගැනුන. ඇන්සල්ගෙ පියා 1916 වසන්තයේදී ඔහුව සියේරා නෙවාඩා කදුකරයට රැගෙන ගියා. ඒ වගේම එයාට ඒ ගමනෙදි තවත් තෑග්ගක් හමුවුන. ඒ තමයි කොඩැක් බ‍්‍රවුනි කැමරාවක්. අප දන්න ඇන්සල් ඇඩම්ස්ගෙ ජීවිතය පටන් ගැනෙන්නෙ මෙතැන් පසුයි.
ඇන්සල් ඇඩම්ස්ගෙ චමත්කාරජනක ඡායාරූපයන් දකින විට ඒ තුළ අපට මුලික බලපෑම් දෙකක් අදුනගන්න පුළුවන්. එකක් තමයි සංගීතය. “පියානොවේ යතුරු 88 ක් තිබෙනව. සංගීත නිර්මාණයේදී අපි ඒ යතුරු සියල්ල උපයෝගී කරගත යුතුයි. ඒ වගේම තමයි ඡායාරූපකරණයත්. කළු වර්ණය හා සුදු වර්ණය අතර වර්ණ සංයෝගාකාරයන් 88ක් පමණ තියෙනව. ඡායාරූපයක් නිර්මාණය කරත්දී ඒ සියලූ දේ අප භාවිතා කල යුතුයි. ඒවා භාවිතා කරන ආකාරය අප දැන සිටිය යුතුයි” ඇන්සල් සංගීතය හා ඡායාරූපකරණය අතර සම්බන්ධය දකින්නේ ඒ ආකාරයටයි.
ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්
ඇන්සල්ගෙ ඡායාරූපකරණයට බලපෑ අනිත් ප‍්‍රධාන හේතුව තමයි පරිසරය සමඟ ඔහුට තිබුණු හෘදයාංගම සම්බන්ධය. ඇන්සල්ගෙ තරුණ කාලයේ පරිසරය ගැන සමාජයෙ තිබුනෙ හරිම උපයෝගීතාවාදී අදහසක්. ඒ කාලය ලෝකය තදින් කාර්මිකකරණය වෙමින් පැවතුන යුගයක්. බොහෝ දෙනා විශ්වාස කලේ පරිසරය කියන්නෙ මිනිසුන්ගෙ අවශ්‍යතාවලට යොදාගන්න තිබෙන දෙයක් කියලයි. තාක්ෂණ දියුණුව නිසා පරිසරය මිනිස්සුන්ට මෙල්ල කරගන්න පුළුවන් කියල ලොකු විශ්වාසයක් ඒ කාලයෙ ඇතිවෙලා තිබුණ.
ඇන්සල්ට එයාගෙ නැන්ද ගෙනල්ල දුන්න පොතේ හිටපු ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිසුන් පරිසරය ගැන දැක්වුවේ වෙනම ආකල්පයක්. අපට පුළුවන්ද පරිසරයෙන් තොරව අප ගැන සිතන්න. අපේ ජීවිතය කියන්නෙ මේ විශාල පරිසර පද්ධතියෙ එක් කුඩා අංශුවක් පමණයි. ඒ පද්ධතියට කරන ඕනෑම බලපෑමක් අප අපටම කරගන්නා බලපෑමක්. පොළව මිනිස්සුන්ට පුද්ගලිකව වෙන් කරගන්න පුළුවන් දෙයක් කියන අදහස ඒ ගොල්ලන්ට කොහෙත්ම තේරුම් ගන්න බැරිවුන. ඔවුන් පරිසරයට සැලකුවේ දේවත්වයෙන්.
ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්
ඒත් අළුතින් ඇතිවෙල තිබුණු තාක්ෂණික දියුනුවෙන් මත්වෙල හිටපු බොහෝ දෙනෙක් මේ අදහස් සැලකුවෙ මෝඩ අවිද්‍යාත්මක අදහස් ලෙසටයි. ඔවුන් මේ මිනිස්සුන්ව බලහත්කාරයෙන් කුඩා ප‍්‍රදේශ වලට කොටු කලා. ඒ අයගෙ ළමයින්ව දෙමවුපියන්ගෙන් වෙන්කරල ඒ අයට බලෙන් “නව දැනුම” ඉගැන්නුව. ඒකට අකමැති වුනු අයව මරල දැම්ම. ඒ කාලයෙ මූලික සංවාදය වුනේ පරිසරය මෙල්ල කරල ගන්න සම්පත් බෙදාගන්නෙ කොහොමද කියන එක. ඒවා තරගකාරී විදියට මිනිසුන්ට ලබාගන්න දෙනවද? එහෙම නැත්තම් සමානව මිනිසුන් අතරෙ බෙදල දෙනවද?
ඒත් ස්වභාවධර්මය එහෙම මිනිස්සුන්ට බෙදාගන්න පුළුවන් දෙයක්ද? ඇන්සල් ගමන් කලේ වෙනම පාරක. එයා උත්සාහ කලේ ස්වභාවධර්මයත් එක්ක අපගේ තිබෙන ගැඹුරු සම්බන්ධය ඡායාරූපයට නගන්න. කැමරා කාචයකින් ස්වභාවධර්මයේ සිතුවිලි වලට සවන් දෙන්න. ඒ සමග කතා කරන්න. එහි විවිධාකාර රහස්, රිද්මයන් සොයා යන්න. එයා තමන්ගේ තරුණ කාලයම කැප කලේ ඒ සඳහායි.
ඇන්සල් වැඩ කලේ ආර්ථික අමාරුකම් රාශියක් මැද්දේ. ඒ කාලයෙ ඡායාරූපකරනය ආර්ථික අතින් යැපීමට තරම් දියුණු වෙලා තිබුනු ක්ශේත‍්‍රයක් නොවෙයි. ඔහු දිනකට පැය 20ක් පමන වැඩ කලා. මේ අසීරුතා මැද ඡායාරූප ඉතිහාසයේ නිර්මාණය වුනු ශ්‍රේෂ්ඨතම ඡායාරූප රාශියක් නිර්මාණය කරන්න ඇන්සල්ට හැකි වෙලා තිබෙනව. ඒ වගේම ස්වභාවධර්මය ගැන සමාජ ආකල්ප වෙනස් කරන්න ඇන්සල්ගෙ කලා නිර්මාණයන් විශාල වශයෙන් දායක වෙලා තිබෙනව.
ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්
ඒත් සමාජ ප‍්‍රශ්න ඡායාරූපයට නගන එක වගේම ස්වභාවධර්මය ඡායාරූපයට නගන එකත් දේශපාලනිකයි කියල කවුරුත් ඒ කාලයෙ පිලිගත්තෙ නැහැ. ඒත් ඇන්සල් ඇඩම්ස්ගෙ අදහස වුනේ වාර්තා ඡායාරූපකරණය ඉතා ඉහල මට්ටමෙන් නොපැවතුනොත් එය හුදු ප‍්‍රචාරකවාදයක් වෙනව කියලයි.
ඇන්සල්ගෙ කාලයට වඩා අද වෙනස්. බොහෝ පරිසරය ගැන උනන්දුවෙන් කතා කරනව. පරිසර ප‍්‍රශ්නය අපගේ යුගයේ ප‍්‍රධානතම සමාජ ගැටළුවක් බවට පත් වෙලා. ඒ සම්බන්ධයෙන් දේශපාලන ව්‍යාපාර පවා ඇතිවෙලා තිබෙනව. පරිසරය රැකගැනීම වෙනුවෙන් වැඩ කරනව කියන එක මිත්‍යාදෘෂ්ධියක් හෝ මෝඩකමක් කියල කියන අය අද අඩුයි. ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිසුන්ගේ පරිසරය ගැන ආකල්ප අද පරිසර ව්‍යාපාරවල තේමාවන් බවට පත්වෙලා.
ඇන්සල්ගෙ තරුණ කාලයේ බොහෝ දෙනා ධනවාදය වෙනුවෙන්, සමාජවාදය වෙනුවෙන්, ෆැසිස්ට්වාදය වෙනුවෙන් තමන් වැඩකරනව කියල ආඩම්බරයෙන් කියපු ආකාරයටම අද කෙනෙකුට පරිසරය වෙනුවන් තමන් වැඩ කරනව කියල කියන්න හැකියාවක් අත්වෙලා තියෙනව. අද වාර්තා ඡායාරූපකරණය තුළට පරිසර ප‍්‍රශ්න වාර්තාකරණයත් පිවිසිල.
ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්
ඉස්සර වගේ අද ගොඩක් අය ප‍්‍රසිද්ධියෙ තමන් ධනවාදී, ෆැසිස්ට්වාදී හෝ සමාජවාදී කියල අදුන්වගන්න එක දකින්න අමාරුයි. පරිසරවාදය අද එතැනට ඇවිල්ල වගේ. මිනිස්සු පරිසරයට වඩා ප‍්‍රමුඛයි කියන එකයි, පරිසරය මිනිසුන්ට වඩා ප‍්‍රමුඛයි කියන එකයි එකම කාසියෙ දෙපැත්ත වගේ. මිනිසුන් හැමදාම අන්තවාදයන් වෙත ඇදී යන්නෙ කෙතරම් පහසුවෙන්ද? හරියට පහන් දැල්ලක් වෙතට නොදැනීම ඇදීයන මෙරුවන් වගේ.
දේශපාලන මතවාදයන් එනව යනව. එක කාලයක ගොඩක් වැදගත් කියල හිතෙන දේ තවත් කාලයක නොවැදගත් කියල හිතෙනව. එක යුගයක විප්ලවීය වෙන දේවල් තව යුගයක සම්ප‍්‍රදායික දේ බවට පත්වෙනව. ඒත් සමහර කලා කෘති සැමදා පවතිනව. යුගයේ කලාකරුවෙක් වෙන්න දහසකුත් එකක් විධි තියෙනව. එත් සැමදා පවතින කලා නිර්මාණයක් කරන්න තියෙන්නෙ එකම එක විදියයි. ඒ තමන්ගෙ කලාව එක්ක තියෙන භාවිතාව වඩ වඩා ගැඹුරු කරගන්න එක, එයට තියෙන ආශාව අත් නොහරින එක, දිගින් දිගටම කලා නිර්මාණ කරන එක.
එකම යුගයක මාර්ග දෙකක ගමන් කරපු ඇන්සල් ඇඩම්ස්ගෙ ඡායාරූපයනුත්, කාතියෙ බෙසාන්ගෙ ඡායාරූපයනුත්, පොදුවෙ අද සැලකෙන්නෙ සමාජයට විශාල දේශපාලනික බලපෑමක් කළ කලා නිර්මාණ ලෙසට. විවිධ ධාරාවන්ට අයත් වුනත් ඒවාට පොදු එක ලක්ෂණයක් තිබෙනව. ඒව කලාත්මක ලෙස ඉතාමත් උසස් ගනයේ නිර්මාණයන්. ඒ නිසාම සෑම යුගයකම මිනිස්සුන්ගෙ සිතුවිලිවලට බලපෑම් කරන්න ඒවට පුළුවන් වෙලා තිබෙනව. කලා කෘතියක් වඩ වඩා කලාත්මක වන විට එය වඩ වඩා දේශපාලනික වෙනව.
ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්
“අපට තේරුම් කරන්න ගැඹුරු දෙයක් තියනව. ඒ තමා මනුශ්‍යත්වය කරා අපසු යෑම. ස්වාභාවික දේ ගැන, අහස ගැන, කදු වැටි ගැන යම් ආකාරයක සමබර දැක්මක් අත් කර ගන්න එක. අපට ජීවත් වීමට, දෑතට ගැනීමට පොළව බිඳක් අවශ්‍යයි. සමහරවිට ඡායාරූපකරණයට එය කල හැකි වේවි. මගේ උත්සාහය ඒකයි.” ඇන්සල් ඇඩම්ස් එයාගෙ ඡායාරූපකරණය ගැන එසේ පවසනව.
ලංකාවේ තරුණ ඡායාරූප ශිල්පීන්, ශිල්පිණියන් රාශියකගෙ නිර්මාණ අන්තර්ජාලය හරහා අප දකිමින් සිටිනව. මේවායින් බොහොමයක් ස්වභාවධර්මය ගැන ඡායාරූපයන්. එකම ඉර සිය විදියකට ගනිමින්, එකම සමනළයා කෝණ සියයකින් ගනිමින් කරන මේ විකාරය මොකක්ද කියල අපට සමහර විටක හිතෙනව. අප හැමදාම දකින දේ තුළ ඔවුන් මෙතරම් මේ සොයන්නෙ මොනවද. මේ වගේ කාලයක කරන්න වෙන වැදගත් වැඩ නැත්ද? ඒත් කලාවට කොහෙද කෙටි මාවත්? කලා කරුවන්ගෙන් කලා නිර්මාණ බලෙන් ගන්න යන එක රත්තරන් බිත්තර ගන්න යනව වගේ වැඩක්. අපූර්ව කලා නිර්මාණ බිහිවන්නෙ එය නිර්මාණය කරන කලාකරුවාත් පුදුමයට පත්කරමින්. ඒ මොහොත වෙනකම් අපි බලා ඉමු.
ජීවන කාච
ඇන්සල් ඇඩම්ස් ගැන විස්තර ගත්තෙ රික් බර්න්ස් අධ්‍යක්ෂණය කල “ඇන්සල් ඇඩම්ස්” වාර්තා චිත‍්‍රපටයෙන් – 2004














Interesting!
/”කලා කරුවන්ගෙන් කලා නිර්මාණ බලෙන් ගන්න යන එක රත්තරන් බිත්තර ගන්න යනව වගේ වැඩක්. අපූර්ව කලා නිර්මාණ බිහිවන්නෙ එය නිර්මාණය කරන කලාකරුවාත් පුදුමයට පත්කරමින්.”/
මේකට මම හරිම කැමතියි
Very good post..!
මම ඇන්සල් ඇඩම්ස් ගැන දැනගත්තෙ මේ ලිපියෙන් ස්තූතිය් ඔබට,,…
An excellent article. I have heard of this person and seen his work. But, had almost forgotten about him. This got me back on the track of photographic thinking.
Thank you for posting.
හොඳ පෝස්ට් එකක්. මම ගොඩක් කැමතියි මේකට.