කතාකරන ඡායාරූප – ඉසබෙල් අයන්ඬේ
මඩ අතර සිරවුණු ඔමයිරා සැන්චේස් දින තුනකට පසු
ඡායාරූපය-ෆ්රූන්ක් ෆෝර්නියර්
අපි ගොඩක් වෙලාවට අහල තියෙන්නෙ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරපු, ඒ අයට ගොඩාක් බලපාපු පොත් ගැන, චිත‍්‍රපටි ගැන, එහෙමත් නැත්නම් ගීත ගැන. ඡායාරූපයකටත් මිනිසෙක්ගෙ ජීවිතය වෙනස් කරන්න පුළුවන්ද? ඡායාරූපකරණය කියන්නෙත් ඒ වගේම අපගේ ජීවිතයට බලපෑම් කල හැකි කලාවක්ද? මේකට උත්තර සොයන්න තියෙන හොදම විදිය තමයි ඒ වගේ අත්දැකීමක් විදල තිබෙන කෙනෙක්ගෙන්ම මේ ගැන අහන එක. ඉතින් මේ ඒ වගේ අත්දැකීමක් ගැන කතාකරන්නේ චිලියානු ජාතික ලේඛිකාවක් වන ඉසබෙල් අයන්ඬේ.
කතාකරන ඡායාරූප
මුළින්ම මම ඔමයිරා සැන්චෙස්ගේ රූපය දැක්කේ රූපවාහිණියෙන්. ඇගේ මුහුණ මට කොහොමටවත් අමතක කරන්න බැරිවුනා. මට හිතුනෙම ඇය මා දිහා බලාගෙන ඉන්නව කියලයි. ඒ 1985 වසර. ඒ කාලය මගේ ජීවිතයේ අමාරුම කාලයක්. එකින් එක රුකියාවට මාරුවෙමින්, ලේඛිකාවක් වෙනවාද නැත්ද යන්න සිතමින් තමයි මම ඒ කාලයේ සිටියේ. මේ වෙනකොටත් මම එක් පොතක් ප‍්‍රකාශනයට පත් කරල තිබුන. ඒ වගේම දෙවන පොතත් ලියල අවසන් කරල තිබුන. ලේඛිකාවක් විදියට ජීවිතයක් ගොඩනගාගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කලේ නැහැ. මගේ විවාහයත් එතරම් සාර්ථකව නෙමෙයි පැවතුනේ. මගේ ළමයිනුත් මගෙන් ඈත් වෙමින් පාසැල් යාමට පටන් ගනිමිනුයි සිටියේ.
ඉතින්, ඒ කාලය මගේ ජීවිතයේ අමුතුම කාලයක්. තීරණාත්මක කාල පරිච්ඡේදයක්. මේවන කොට මම මගේ රටින් පිටුවහල් වී ඇවිල්ල වසර ගනනක් ගතවෙල. ඒ වනවිටත් වෙනිසියුලාවෙන් වෙනත් රටකට යන්න මම සිතමින් සිටිය. සමහරවිට මෙක්සිකෝවට. මොකද මට චිලී වලට යන්න හැකියාවක් තිබුනේ නැහැ. මේවගේ කාලවල් කියන්නේ තමන්ට තමන්ගේ ජීවිතය ගැන ගොඩක් ආත්මාණුකම්පාවක් දැනෙන කාලවල්. මේ කාලයේම තමයි ගිනිකන්ද පිපුරුනේ. ඒ වගේම මේ ගැහැණු ළමය මගේ ජීවිතයට පිවිසුනේ.
මේ වෙනකොට වෙනිසියුලාව තුළ කොලොම්බියානු ජාතිකයින් මිලියනයක් පමණ ජීවත් වෙමින් සිටිය. ඒ ගොඩක් අය පැමිණියේ ඔමයිරාගේ ගම් පලාතෙන්. ගිනිකන්ද පිපුරුනාට පස්සේ හිම දියවෙලා වතුරයි, මඩයි, ගලුයි ගංගාවක් වගේ ඔමයිරාගේ ගමට ගලාගෙන ආව. මේ ඛේදවාචකය ලෝකයේ ජනමාධ්‍ය විශාල සංඛාවකින් වාර්තා කලා. ඇගේ රූපය ඡායාරූපයක් විදියට ලෝකය පුරා ප‍්‍රචාරය කරන්න තාක්ෂණයක් එදා තිබුණ. එත් ඇගේ ජීවිතය බේරාගන්න තාක්ෂණයක් තිබුනෙ නැහැ. ගලාගෙන ආපු මඩ ඇතුලෙ දින හතරක් සිරවෙල හිටපු ඇය අවසානයේ මියගියා.
මේ ඡායාරූපය දිහා බලනකොට ඇගේ ඇස් දෙක මගේ දිහාට තදබල විදියට යොමු වෙලා තියෙන බව මට හිතුන. එයාගේ කළු පැහැති, පිරුණු. ආමන්ඩ් හැඩයක් ඇති ඇස් දෙකෙන් මතුවුනු බැල්මෙන් ඉවසීම, දරාගෙන සිටීම, නොනැසී සිටීම යන්නෙහි සැබෑ අරුත මම තේරුම් ගත්ත. මේ මොහොතින් පස්සේ තමන් ගැනම සිතමින් ඉන්න එක මම නතර කලා. මම ඇගේ ඡායාරූපය සගරාවෙන් ඉරාගෙන මගෙ ලගම තබාගත්ත.
ඉසබෙල් අයන්ඬේ
ඇය චිලී රටෙහි උපන් ලේඛිකාවකි. එමෙන්ම ඇය 1973 වසරේදී ඇමෙරිකානු ඔත්තු සේවාවෙහි අධාර මත කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කෙරුනු චිලියානු ජනාධිපති සැල්දොර් ඇලන්ඬේගේ දියනිය. ඔහු එම කුමන්ත‍්‍රණය අවස්ථාවේ මියගියා.
මේ සිදුවීමෙන් වසර පහකට පස්සේ මම ඇමෙරිකාවට පැමිණිය. ඒ වනවිට මට කෙටි කතා එකතුවක් ලියන්න අවශ්‍ය වෙලා තිබුන. ඒ කෙටිකතා පොතේ ඔමයිරාගේ කතාව වඩාත්ම වැදගත් කෙටිකතාව වන බව මම දැනගෙන සිටිය. මම ඇය ගැන එක් කතාවල් ලියන්න ගත්ත. ඒත් අවසානයේ ඒක සම්පූර්ණ පොතක්ම බවට පත්වුනා. ඒ පොතේ නම “ඊවා ලූනාගේ කතාන්දර”.
සාමාන්‍යයෙන් මම කෙටිකතා ලියන කොට ඒ සදහා උත්සාහ කරන්නේ එක් වතාවයි. මොකද කෙටි කතාවල් තියන්නෙ ඇපල් ගෙඩි වගෙයි. ඒවා ගෙදරට එන්නෙ හරිම නැවුම් විදියට. අපි කතාවක් ඕනෑවට වඩා සකස් කරන්න යත්දී ඒ නැවුම් බව අහිමි වෙලා යනව. තමන්, තමන්ගේ මුළු කතාවම පළවෙනි වාඛ්‍යය තුළින් ශක්තිමත්ව සම්පූර්ණයෙන් ග‍්‍රහණය කරගත යුතුයි. ඒත් මගේ සිතේ හොල්මන් කරමින් තිබුනු ඔමයිරාගේ මතකය මත මම ඇගේ කතාව කිහිප වතාවක්ම ලිවුවා. පොත ලියල අවසන් වුනාට පස්සේ මම හිතුව දැන් ඇයත් සමග මගේ තිබුනු සම්බන්ධය මම අවසන් කළා කරා කියල. මම මගේ ලග තිබුනු ඇයගේ ඡායාරූපය අයින් කරන්න හැදුව. ඒත් ඇය ආයෙත් ඇවිල්ල. මේ ව්‍යාපෘතිය ඇයව නැවත මා වෙතට රැගෙන ඇවිල්ලා. ඒ වගේම මගේ ජීවිතයෙ සිදුවූ ඛේදවාචකයක් විසින් ඇය මා වෙත නැවත රැගෙන ඇවිල්ල.
1985 වසරෙදී මේ ඡායාරූපය මම දකින කොට කවදාවත් මේ වගේ දෙයක් මගේ ළමයෙකුට වෙන්නෙ නැතිවෙයි කියල මම හිතුව. ඒත් දැන් මගේ ළග ඉන්නව දරුණු විදියට රෝගාතුර වූ දියණියක්. ඇය සමහරවිට මියයා හැකියි. මඩ ගොඩක හිරවෙලා දුක්විදපු ඔමයිරා වගේම තමන්ගේ අක‍්‍රිය වුනු සිරුර ඇතුලෙ අද මගේ දියණිය සිරවෙලයි ඉන්නේ. මම අවුරුදු දෙකක් පුරා ඇගේ ඇද ලගට වෙලා බලාගෙන ඉන්නව. මේ මුළු කාලයේදීම ඔමයිරා මාව අත්හැරල ගියේ නැහැ. ඇය ඒ මුළු වෙලාවෙම මගේ ළගට වෙලා සිටිය. එදා ඇය මා වෙත රුගෙන ආ පණිවිඩයම අදත් ඇය මා වෙත රුගෙන එනව: දරාගැනීම හා ආදරය, ඒ වගේම, ඛේදවාචකයන් හා මරණයන් බාරගැනීම.
මේ ඡායාරූපය දැකපු මුල් වතාවෙ මම හිතුවෙ ඇය උදවු ඉල්ලමින් ඉන්නව කියලයි. ඒ ත්, ආයෙත් මම හිතුව “නැහැ, ඇය තවම මිය ගිහින් නැහැ, ඇය තවමත් ජීවතුන් අතර කියල”. ජීවිතය කියන්නේ මොනතරම් ඉක්මනට බිදිල යා හැකි දෙයැක්දැයි ඇය මට මතක් කරල දෙනව. ඇයගෙන් දිස්වන්නෙ කෙතරම් ධෛර්යයක්ද? ඇය කිසිවිටකත් උදවුවක් ඇයැද සිටියේ නැහැ. කිසිම පැමිණිල්ලක් කලේ නැහැ.
මේ වසර ගනනාව පුරාම මම ඇය හා ලෙන්ගතුව සිටිය. මම ඇය හා අනන්‍යව සිටිය. එක් අතකට මම කියන්නෙ ඇයයි. ඇය මා තුළ සිටිනව. අපි දෙන්නා අතර කුමක්දො සම්බන්ධයක් තිබෙනව. ඒ හැගීම හරිම අමුතුයි. ඇය මා තුළ හොල්මන් කරන අවතාරයක්. එයා මඩ ඇතුලෙ සිරවෙලා සිටියදී එයාට සිතුනෙ මොනවද කියන එක මම හැමදාම හිතුව. ඇත්තටම මම හිතන්නේ නැහැ ඇය මොනවත් සිතමින් ඉන්නව කියල. ඇයට දැනෙනව විතරයි. ඇගේ නිවස කඩා වැටුනට පස්සේ ලෑලි දෙකකටයි, ඇගේ මියගිය සහෝදරයින්ගේ සිරුරු වලටයි ඇය සිරවෙල සිටපු බව පසුව වාර්තා වෙලා තිබ්බ. ඇගේ සිරුරට දැනුනෙ සීතල, බිය, සහ ආතතියයි. ඡායාරූපය බලත්දී, ඇය මඩ ඇතුලෙ හිරවෙලා ඉන්නෙ ගොඩක් වෙදනාවෙන් සහ අපහසුවෙන් කියල තේරෙනව. ඒත් බලන්න ඇගේ අත් දෙක දිහා, ඒවා තවමත් කෙතරම් ලස්සනද?
ඡායාරූපවල වැදගත්කම තමයි කිසිම වචනයකට කරන්න බැරි දේ ඒවට කරන්න පුළුවන් වෙන එක. මම කල්පනා කරන්නේ රූප වලින්. මට මතක් වෙනව මගේ අතීතය රූප විදියට. මගේ ජීවිතයේ මුල් කාලයේ මතකයන්, මගේ තාත්තා ගැන මගේ ඇති එකම මතක සටහණ. එතකොට මගේ වයස අවුරුදු දෙකයි. මගේ තාත්තයි මමයි ලීමා වල තිබුනු අපේ ගෙදර පඩිපෙලේ හිටගෙන ඉන්නව මට පේනව. එහෙ තමයි මම ඉපදුනේ. මට පේනව එයාගේ කකුල්. එයාගේ සපත්තු. ඊට පස්සේ කළු පාට, සුදු පාට, පාට දෙකකින් සපත්තු පැළද ගත් මිනිස්සු. ඒ වගේම මට මතකයි මගේ සහෝදරයව. එතකොට එයාට තවම ඇවිද ගන්නත් බැහැ. එයා ඇදගෙන ඉන්නේ කළු කලිසමකුයි, සුදු සපත්තුයි. එත් එක්කම, එකපාරටම එයා වැටෙනව මට පේනව. ඊට පස්සේ ලේ ගොඩාක්. ලේ වලින් තෙත් වුනු මගේ පියාගේ කලිසමෙ රූපය තවම මට පෙනෙනව.
ඔමයිරා මට උගැන්වූයේ ජීවිතය හා මරණය පිළිබද පාඩමක්. මම ඇගෙන් ඉගෙනගත් දේ හා ඇය මට උගැන්වූ දේ හරිම සංකීර්ණයි. මේ ඡායාරූපය දෙස නැවත නැවත බලන සෑම විටකම ඒ තුළින් අළුත් දේවල් මතු වෙනව. ඇය ඉන්නේ තනියෙන්. ඇගේ පවුලේ කවුරුත් ඇය අසල නැහැ. ඒ ගොල්ලන් එලියට ගිහිල්ල ද ?, එහෙමත් නැත්නම් පැන ගිහිල්ල ද ?, මම දන්නෙ නැහැ. ඇය සමීපයෙ හිටපු එකම අය තමයි ඡායාරූප ශිල්පීන්. ඒ වගේම රතුකුරුස සංවිධානයෙන් ආපු අය. ඒ සැමෝම, ඇය අදුනන්නේ නැති අය. ඇය මිය ගියේ තනියම. මගේ දියනිය මම වැළදගෙන ඉන්න විදියටම මට ඇයවත් වැළදගෙන ඉන්න එතනට යන්න පුළුවන් වුනානම්..
බටහිර සංස්කෘතියෙන් අපිට හැම වෙලාවෙම සිතන්නට බලකරන්නෙ මොනවද? එයින් බලකරන්නේ දුප්පත්කම, මරණය, ලෙඩරෝග, හා අසාර්ථකත්වයන් වගේ පාලනය කල නොහැකි ඕනෑම දෙයක් නොතකා හරින්න කියලයි. ඒ වගේම, එවැනි වෙනස්කල නොහැකි යැයි සිතෙන ඕනෑම දෙයක් නොතකා හරින්න කියලයි. ඒත්, තමන්ගේ ජීවිතයේ සතුටට වඩා වේදනාව බෙදාහදාගන්නා මිනිසුන් ජීවත් වන, ලෝකයේ ඉතිරි කොටසේ තත්වය මේක නෙමෙයි. මොකද, මේ කලාපයේ මිනිසුන්ට බොහෝ විට සතුටට වඩා වේදනාව හමුවන අවස්ථාවන් වැඩියි. මරණය තුළ බිය වීමට හෝ පුදුම වීමට කිසිම දෙයක් නැහැ.
මේ ඡායාරූපය බලන්න. ඒකේ ඔමයිරා ඉන්නේ බියෙන් නෙමෙයි. ඇගේ ජීවිත කාලයේදී ඕනෑ තරම් මරණයන් ඇය දැක තිබීම ඒකට හේතුව වෙන්න ඇති. ඇගේ ජීවිතය පුරාවටම ඇය ඉදල තියෙන්නේ දුප්පත් කමින්. ලෝකයේ ජීවත් වන අනෙකුත් සෑම දුප්පත් මිනිසෙක්ම වගේම ඇයත් ජීවිත කාලය පුරා මරණය සමග අත්වැල් බැදගෙන පා නගන්න ඇති. තමන් සැමදාම ජීවත් වන බව සිතන්නේ සැපසම්පත් පිරුණු, වරප‍්‍රසාදිත ලෝකයෙක ජීවත් වන මිනිස්සු පමනයි.
ඇය මිය ගිහින්.
වසර ගනනක් ගතවෙලා වුනත් තාමත් අපි ඇය ගැන කතා කරනව. අපට කවදාවත්ම ඇය මුණගැසිල නැහැ. අප ජීවත් වෙන්නෙ ඇගේ ලෝකයට අනිත් පැත්තේ. ඒත් අප සියල්ලන්ම ඇය විසින් එක් කරල තිබෙනව. මේ ගැහැණු ළමය, ඇය කවදාවත් මිය යන්නෙ නැහැ.
ඇය කවදාවත්ම මිය යන්නේ නැහැ. ඇය සෑම මොහොතකම නැවත නැවත ඉපදෙනව.
ඉසබෙල් අයන්ඬේ
අනුවර්තනය-ජීවන කාච
පහත දැක්වෙන පොතෙහි ලිපියක අනුවර්තනයකි
Heiferman, Marvin. Kismaric, Carole. Talking Pictures:People Speak About the Photographs That Speak to Them. San Francisco:Chronicle Books, 1994.








හොඳ ලිපියක්. සිංහලයට පරිවර්තනය කළාට ස්තුතියි !
ස්තූතියි අරවින්ද. වෙන ලිපියක් ලියන්න යත්දී අහම්බෙන් මේ ලිපිය හමුවුනේ. ලිපිය ලස්සන නිසා අනුවර්තනය කලා.
superb…