ඇගේ ඇසින් ලොව බලන්න – Women and Photography – 3
කාන්තා දිනය පහුවෙලා සති තුනක් ගතවුනා. ඒත් කාන්තාවන් හා ඡායාරූපකරණය ගැන අපේ කතාව තවම ඉවරකරගන්න බැරිවුනා. ඉතිං මේ තමයි ඒ ලිපියේ අවසාන කොටස. අපි මීට කලින් සතියේ පෝස්ට් එකේදි කතාකලේ 60 දශකයේ සිදුවුන විප්ලවය කලා ක්ශේත‍්‍රයටයි ඡායාරූපකරණයටයි බලපෑවෙ කොහොමද කියලයි. අපි මුලින්ම බලමු කාන්තාවන් හා ඡායාරූපකරණය අතර ඇති සම්බන්ධයට 60 දශකයේ සිදුවුනු මේ වෙනස්කම් බලපෑවෙ කොහොමද කියල.
ඡායාරූප ශිල්පිණී ඇන්ජලා ස්ටේරසීම්ගේ ඡායාරූපයක්
60 දශකය කියන්නෙ කාන්තාවන්ටත් ගොඩක් වැදගත් වුනු දශකයක්. මේ වෙන තෙක් කාන්තාවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් සමාජයේ ලොකු හඩක් තිබුනෙ නැහැ. පිරිමි අය කාන්තාවන්ට තියෙන ප‍්‍රශ්න ගැන දැක්වුයේ අඩු අවධානයක්. අවධානයක් දක්වපු අය පවා කිව්වේ විප්ලවයෙන් පස්සෙ, ජාතික නිදහස දිනාගත්තයින් පස්සේ, සමාජවාදය උදාවුනායින් පස්සෙ කාන්තාවන්ගෙ ප‍්‍රශ්න විසදල දෙන්නම් වගේ කතාවන්. එත් මේවගේ අරගල දිනපු තැන් වල කවුරුත් මේ පොරොන්දු මේවන තෙක් ඉටු කරල තිබුනෙ නැහැ. ඒව ඔක්කොම දෙන්නම් කාසි ගනයට තමා අයිති වෙලා තිබුනෙ. ඉතින් මේ හේතුව නිසා 60 දශකයේදී කාන්තාවෝ ම තමන්ගේ ප‍්‍රශ්න පිළිබඳව සංවිධානය වෙල අරගල කරන්න පටන් ගන්නව. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසට 70 දශකය මුල භාගය වෙත්දී කාන්තාවන්ට පුළුවන් වෙනව ශක්තිමත් කාන්තා ව්‍යාපාරයක් නිර්මාණය කරගන්න.
කලා ක්ශේත‍්‍රයේ මෙතෙක් පැවති භාවිතාවන් ගනනාවක් කාන්තාවන්ගේ ප‍්‍රශ්න කිරීම් වලට ලක්වෙනව. ඔවුන් මුලින්ම බටහිර කලා ධාරාවන් තූළ කාන්තාව නිරූපණය කරල තිබෙන ආකාරය ප‍්‍රශ්න කරන්න ගන්නව. ඒ අය පෙන්වල දෙනව මෙතෙක් කාලයක් බටහිර කලා ක්ශේත‍්‍රයේ කලා කෘති නිර්මාණය කරල තියෙන්නෙ පිරිමි විතරක් කලා කෘති බලනව කියන අදහස ඇතිව කියල. කලා කෘතිවල ඉන්නෙ කාන්තාවන්. බලන්නෙ පිරිමි අය. මේක නිසාම මේ කලා කෘති වලින් නිරූපණය කරල තියෙන්නේ පිරිමි අයගේ ආශාවන් හා සිහින වලට ගැලපෙන කාන්තාවන් විතරයි. ඔවුන් බටහිර කලාවේ තියන මෙම ලිංගික වර්ගවාදය ප‍්‍රශ්න කරනව.
ඡායාරූප ශිල්පිණී කොලියර් ෂෝ ගේ ඡායාරූපයක්
ඊට පස්සේ ඒගොල්ලෝ කලා ඉතිහාසය ප‍්‍රශ්න කරන්න ගන්නව. ඒකට හේතුව තමයි මෙතෙක් කාලයක් කලා කශේත‍්‍රයෙ ප‍්‍රධාන කලාකරුවන් ලෙස සැලකුනු සියළු දෙනා පිරිමි අයවීම . කලා ඉතිහාසය කියල සැලකුනේ මෙම දැවැන්ත පිරිමි කලාකරුවන්ගෙ ඉතිහාසයටයි. එක් යුග පුරුශයෙකුට පස්සෙ තවත් යුග පුරුශයෙක් විදියට. මේක ඇත්තක්ද? කලා ඉතිහාසයේ කාන්තාවන් සිටියෙ නැත්ද? එහෙමත් නැත්නම් ඔවුන් ගැන කවුරුත් කතා කලේ නැත්ද? කාන්තා ඉතිහාසවෙදිනියන් මේ පිළිබඳව කරුණු සොයන්නට පටන් ගන්නව. ඔවුන් පැරණි ඉතිහාසයන් පීරමින් මෙතෙක් සැගවී තිබුනු කාන්තා කලාකාරියන් පිළිබඳ තොරතුරු, ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව තොරතුරු ලෝකයට එලි කරනව.
මීට පස්සේ ඔවුන්ගේ අවධානය යොමුවන්නේ කලා කෘති ප‍්‍රදර්ශනය කරන තැන්වල මෙතෙක් පැවති භාවිතාවන් වලට. මේ වෙන තෙක් ප‍්‍රධාන කලාගාරයන්වල, පාසැල් වල හා තවත් කලා කෘති ප‍්‍රදර්ශනය කරන තැන් වල කාන්තාවන්ගේ කලා නිර්මාණයන්වලට ඉඩක් වෙන්වෙලා තිබුනෙ නැහැ. මේ නිසා මේ යුගයේ ප‍්‍රධාන කලාගාර විසින් සංවිධානය කරන ප‍්‍රදර්ශනයන් වල කාන්තා කලා නිර්මාණයන් දකින්නට තිබුනෙ ඉතාම අඩුවෙන්. මෙම හේතුව නිසා මීට පසුව කලා කෘති ප‍්‍රදර්ශනය කරන ස්ථාන වල කාන්තාවන්ගේ කලා නිර්මාණයන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා ඉඩකඩක් අනිවාර්යයෙන් ලබාදිය යුතු බවට කාන්තාවන් පවසනව.
ගරිල්ලා ගර්ල්ස් කාන්තා සංවිධානයේ පෝස්ටරයක්.
කාන්තාවන් කරන ලද මෙම අරගලයන්ගේ හේතුවෙන් බොහෝ රටවල කලා අධ්‍යාපනය තුළ සහ කලා ඉතිහාස විශය ධාරාවන් තුළ විශාල වෙනස් කම් සිදුකරන්නට සිදුවෙනව. ඒවගේම කලා කෘති ප‍්‍රදර්ශනය කරන තැන් වලට කාන්තාවන්තේ කලා නිර්මාණයන් වලට ඉඩකඩක් වෙන් කිරීමටත් තමන් සතුව මෙතෙක් පැවති කාන්තාවන්ගේ කලා නිර්මාණයන් මොනවාද යන්න පිළිබඳව නැවත සොයා බලා වාර්තාගත කිරීමටත් කලාගාර වලට සිදුවෙනව. ඒ විතරක් නෙමෙයි මින් පසු කාන්තාවන්ට අපහාස වන ආකාරයෙ කලා ප‍්‍රද්ශනයන් පැවැත්වෙන තැන්වලට විරෝධතාවන් සමාජය තුළින්ම එල්ලවීමටත් පටන් ගැනෙනව.
ඉතින් මෙන්න මේ සිදුවුනු වෙනස්කම් වල බලපෑම ඡායාරූපකරණ ක්ෂේත‍්‍රයටත් එල්ලවෙනව. මොකද ඡායාරූපකරණ ක්ෂේත‍්‍රය තුළත් කාන්තාවන් තිබුනෙ මේවගේම ගැටළු තමයි. එක පැත්තකින් ඡායාරූපකරණය සම්ප‍්‍රධායික කලා ක්ෂේත‍්‍රයෙ කොන් වෙලා තියෙනව වගේම තවත් පැත්තකින් ඡායාරූපකරණ කෂේත‍්‍රය තුළ කාන්තාව කොන් කිරීමට ලක් වෙලා තියෙනව. කතාවක් තියෙනවනේ වහලෙක් උනත් කැමතියි තමන්ටම කියල වහලෙක් තියාගන්න කියල. ඡායාරූපකරණ ක්ෂේත‍්‍රයේ කාන්තාවන්ට තිබුනෙ එවැනි තැනක් තමයි.
මේ නිසා ඡායාරූපකරණයේ ඉතිහාසය තුළ කාන්තාවන්ගේ තැන මොකක්ද කියල කාන්තාවන් සොයන්න පටන් ගන්නව. මේ ව්‍යාපෘතියට උදාහරණ කිහිපයක් දෙන්න පුළුවන්. එකක් තමයි වැල් විලියම්ස් කියන ලේඛිකාව 1900 වසරේ සිට අද දක්වා එංගලන්තයෙ සිටපු කාන්තා ඡායාරූපකරණ ශිල්පිණියන්ගේ සැගවුනු ඉතිහාසය නැවත ලියන එක. මේ පොතේ නම The Other Observers-1900 to the Present. මේ පොතෙන් විලියම්ස් අතීතයේ එංගලන්තයේ ඡායාරූපකරණ ක්ෂේත‍්‍රය තුළ සිටි කාන්තාවන් ගනනාවක් සහ ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වයන් ගනනාවක් එලි කරනව.

ඡායාරූප ශිල්පිණී එලේන් ඇන්ටින්ගේ නිර්මාණයක්
ඒ වගේම කොන්ස්ටන්ස් සලිවන්ස් කියන ලේඛිකාව මේ ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට රුගෙන යමින් ලෝකය පුරාම මෙලෙස සැඟවී ගිය කාන්තා ඡායාරූපකරණ ශිල්පිණියන්ගේ ඉතිහාසය නැවත ලියනව. මේ පොතේ නම Women Photographers. මේ තුළින් අතීතයේ ඡායාරූපකරණ ක්ශේත‍්‍රයේ යෙදිල සිටියේ වැඩිවශයෙන් පිරිමි අය විතරයි කියන වැරදි අදහස වෙනස් වෙනව.
කාන්තාවන්ගේ අවධානයට ලක්වෙන අනිත් කරුණ තමයි කලාකෘති නැරඹීම සම්බන්ධයෙන් තිබෙන සම්ප‍්‍රධායික අදහස්. මොකද ඡායාරූපකරණයේදී කාන්තාව ඡායාරූපයට නැගෙන කෙනා විදියට තමයි බොහෝ විට සැලකුනේ. කාන්තාව ඡායාරූප නරඹන සක‍්‍රීය සහභාගීවෙන්නෙක් විදියට සැලකුවොත් තත්වය මොනවගේද ?
මෙ ව්‍යාපෘතියේ එක් වැදගත් උත්සාහයක් තමයි සූසන් බට්ලර් විසින් ලියන Shifting Focus කියන පොත. මේ පොතෙන් එයා මතුකරන ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි කාන්තාවන් ඡායාරූප නරඹන්නට පටන් ගත් විට කුමක් වේවිද? කියන ප‍්‍රශ්නය. කාන්තාවන් ඡායාරූප දෙස බලන්නේ පිරිමි අය ඡායාරූප දෙස බලන විදියටමද? ඒ අයගේ දෘෂ්ඨිකෝණය මොකක්ද? මෙවැනි කරුණු තමයි මේ පොතෙහි සාකච්ඡා වන්නේ.
ඡායාරූප ශිල්පිණී ඇනා ගැස්කල්ගේ ඡායාරූපයක්
මෙවැනි අරගලයන්ගෙ ප‍්‍රතිඵලයක් විදියට අද ලෝකයේ ප‍්‍රධාන ඡායාරූප ප‍්‍රදරශනයන් වල කාන්තාවන්ගේ නිර්මාණ ඇතුල් කරන එක සාමාන්‍ය දෙයක් වෙලයි තියෙන්නේ. ඒ වගේම කාන්තාවන්ට අපහාස වෙන ආකාරයේ නිර්මාණත් කාන්තාවන් පිළිබඳව සමාජයේ පවතින සම්ප‍්‍රධායික මතයන් ශක්තිමත් කරන නිර්මාණත් බොහෝ විට ප‍්‍රශ්න කිරීම් වලට ලක්වෙනව. ඒ වගේම අද ලෝකයේ බොහෝ රටවල ඡායාරූපකරණය වෘර්තීය මට්ටමේන් කරන කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් දකින්නට පුළුවන්.
අපි මෙතෙක් වෙලා කතාකලේ මෙම අරගලයන් වලින් කාන්තාවන්ට ලැබුනු දේවල් ගැනනෙ. ඡායාරූපකරණ ක්ශේත‍්‍රයට කාන්තාවන් පැමිණීම නිසා ඡායාරූපකරණ ක්ෂේත‍්‍රයට ලැබුනු දේවල් මොනවාද? ඒකත් හොඳ ප‍්‍රශ්නයක් තමයි. මේ ගැන අදහස් දක්වන විද්වතුන්ට අනුව කාන්තාවන් කරපු මෙම අරගලය කලාගාර තුළ තමන්ට ස්ථානයක් ලබාගන්න ගෙනගිය අරගලයකට වඩා විශාල එකක්. මේ අරගලය ලෝකයේ කලාව පිළිබඳ තිබුනු මූලික භාවිතාවන් හා සංකල්පයන් විශාල වශයෙන් වෙනස් කරන්න සමත් වෙලා තිබෙනව. ඒ වගේම ඡායාරූපකරණ ක්ශේත‍්‍රයට විවිධ මානයන් ගනනාවක් කාන්තාවන් විසින් ඇතුල් කරල තිබෙනව. මේ දේවල් වෙනම කතාකරන්න ඕන දේවල්.
ඡායාරූප න්‍යායයට විශාල මෙහෙයක් කල සූසන් සොන්ටැග්
ඡායාරූපය – ඇනී ලේබොවිට්ස්
එත් මේවට කෙටි උදාහරණ විදියට එලෙනර් එන්ටින්, සින්ඩි ශර්මන් වැනි සංකල්පීය කලාකාරියන්ගේ නිර්මාණයන්, වාර්තා ඡායාරූපකරණයේ මෙතෙක් පැවති සීමාවන් පුළුල් කල ටීනා බර්නි, සැලී මාන් වැනි ඡායාරූප ශිල්පිණියන් ගේ නිර්මාණයන්, ඡායාරූපකරණ න්‍යාය පුළුල්කල සූසන් සොන්ටැග් වැනි න්‍යාය වේදිනියන් ගේ රචනාවන්, සහ වාර්තා ඡායාරූපකරණය සහ සංකලීපීය ඡායාරූපකරණය අතර පාළම් නිර්මාණය කල නිකී ලී, කැතරින් ඔර්පී වගේ අයගේ නිර්මාණයන් පෙන්වා දෙන්න පුළුවන්. මේ ටික දෙනෙක් විතරයි. ඉතිං මෙහෙම බලත්දී කාන්තාවන් ඡායාරූපකරණයට ආව එකෙන් ඡායාරූපකරණ ක්ශේත‍්‍රයට විශාල දේවල් ලැබිල තිබෙනව කියල අපට පිලිගන්න වෙනව . ඕනෑම ක්ෂේත‍්‍රයක් නිර්මාණශීලීව වර්ධනය වෙන්නේ ඒකෙ දොර කවුළු විවර කරල තියන විට මිසක් වසාදාලා තියෙන කොට නෙමෙයිනෙ. අපි හිතන්නේ මේ කාන්තාවනුත් කාන්තා දිනයත් අපට උගන්වන හොඳම පාඩම ඒකයි.
Candy Cigarette
සම්මානනීය ඡායාරූපශිල්පිණී සැලී මාන්ගේ ආන්දෝලනාත්මක Immediate Family ඡායාරූප එකතුවෙ ඡායාරූපයක්
ඉතින් කාන්තා දිනය සම්බන්ධයෙන් ලියපු පොස්ට් එක අපි නිමාකරන්නයි යන්නේ. මේකෙ වැදගත් කමක් තියේවිද දන්නේ නැහැ. ඒත් ලංකාවේත් ඡායාරූපකරණයේ යෙදිල ඉන්න කාන්තාවන්ට මේවගේ මාතෘකාවක් වැදගත් කියල අපිට හිතුන. ඒ වගේම පිටරට ඡායාරූප ප‍්‍රදර්ශනයන්ට ඡායාරූප ඉදිරිපත් කරන්න සිතාගෙන ඉන්න අයට මේ ඉතිහාසය සමහරවිට ප‍්‍රයෝජනවත් වේවි. මොකද කාන්තාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්මාණ ඒ වගේ තැන් වල විශේෂ පරීක්ෂාවට භාජනය වෙන නිසා. කොහොමහරි ලංකාවේ ඡායාරූපකරණ ඉතිහාසයේ කාන්තා දායකත්වය ගැන සොයල කාටහරි ලියන්න පුළුවන්නම් හැමෝටම ගොඩක් වැදගත් වේවි.
ජීවන කාච
විස්තර ලබාගත් පොත් -
Wells, Liz. Photography: A Critical Introduction. London: Routledge, 2009
Fisher, Susan. Role Models: feminine Identity in Contemporary American Photography. London:Scala, 2008.
<a name=”fb_share” type=”button_count” href=”http://www.facebook.com/sharer.php”>Share</a><script src=”http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share” type=”text/javascript”></script>











http://blog.inetlanka.com/