Skip to content

ජේම්ස් නට්වේ සහ යුධ විරෝධී ඡායාරූපකරණ කලාව. James Nachtwey

සැප්තැම්බර් 11, 2011

ජේම්ස් නට්වේ  සහ යුධ විරෝධී ඡායාරූපකරණ කලාව

ජායාරූපයන් ඉතිහාසය වාර්තාගතකරණවා පමණක් නොවෙයි එය ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමටත් උදවු කරන බව ජේම්ස් නට්වේ පවසනව. ඔහු එය ඉගෙන ගත්තෙ 60 දශකයේ ඔහුගේම ජීවන අත්දැකීම් තුලින්. 60 දශකය කියන්නේ විප්ලවීය දශකයක්. නැට්වේ ජීවත් වූ ඇමෙරිකාව හරහාත් මේ විප්ලවීය රැල්ල හඹා ගියා. සිවිල් අයිතිවාසිකම් සඳහා අරගලයන් සහ යුධ විරොධී අරගලයන් සියළු තැන්වල ඇවිලී ගොස් තිබුණ. පාලකයන් හා හමුදා නායකයන් වියට්නාම් යුද්ධය  ගැන මහජනයාට කියූ දේවල් වලට හාත්පසින්ම වෙනත් චිත‍්‍රයක් ජායාරූපකරුවන් ඒ ගැන කියමින් සිටිය. මෙය යුද්ධය පිළිබඳ විකල්ප චිත‍්‍රයක් නිර්මාණය කලා පමණක් නෙමෙයි යුද්ධයට විරුද්ධව විශාල මහජන විරෝධයක් නිර්මාණය කලා. ඡායාරූපකරණය කියන්නේ කෙතරම් බලපෑම් සහගත මාධ්‍යයක්දැයි තේරුම් ගත්තේ මෙම අත්දැකීම් වලින්.


යුද්ධය ඡායාරූපයට නැගිය යුත්තේ ඇයි. යුද්ධය කියන්නේ මිනිස් ඉතිහාසය පුරාම පැවතුණු එක්තරා ආකාරයක මානව ක‍්‍රියාකාරීත්වයක ආකෘතියක්. මෙය ඡායාරූපකරණය හරහා නැවැත්විය හැකිද? මෙවැනි ප‍්‍රකාශයක් විහිළු සහගත ලෙස අසමබර බව පෙනෙන්නට පුළුවන්. ඒත් මේ අදහස තමයි නට්වේව ඡායාරූපකරණයට යොමු කලේ.  “මට අනුව ඡායාරූපකරණයේ ශක්තිය රුදිල තිබෙන්නේ එයට මානවීයත්වයේ හැගීම මතු කිරීමට තිබෙන හැකියාව මතයි. යුද්ධය කියල කියන්නේ මානවීයත්වය නිෂේදනය කරන දෙයක් නම් ඡායාරූපකරණය එහි විරුද්ධ පැත්ත ලෙස අපට දකින්නට පුළුවන්.” නට්වේ කියන්නේ ඡායාරූපකරණය ඉතා හොඳින් භාවිතා කළහොත් එය මඟින් යුද්ධයට විරුද්ධව බලපෑම් සහගත ප‍්‍රතිරෝධයක් ජනිත කරවිය හැකි බවයි.

වාර්තා ඡායාරූපකරණයේ බලපෑම, එහි අදාලත්වය සහ එහි ආචාරධර්ම පිළිබඳ විශාල සංවාදයක් අද ලෝකයේ ඇති වෙලා තිබෙනව. අද ලෝකයේ මතුවී ඇති අර්බුධයන් හා සසඳා බලනවිට පුංචි ඡායාරූපයකට කරන්න පුළුවන් බලපෑම මොකක් ද කියන එක ප‍්‍රශ්නයක්. ඒත් අපි අවට ඇති සිදුවීම් අපි කරා ගෙන එන්නේ මීට ප‍්‍රතිවිරුද්ධ චිත‍්‍රයක්. අද වාර්තා ඡායාරූපකරණයට ලෝකයේ සෑම තැනකම විශාල වාරණයන් පැනනැගිල තිබෙනව. ස්වාධීන ඡායාරූප ශිල්පියකුට අද ලෙහෙසියෙන් ගැටළුවක් ආවරණය කරන්න අවසර ලබාගන්න අමාරුයි. ඒ එකපැත්තක්. තවත් පැත්තකින් විශාල සමාගම් වාර්තා ඡුායාරූපකරණ ක‍්‍රියාවලියට ඇතුළු වී තිබෙනව. විවිධ රටවල පාලන තන්ත‍්‍රයන් තමන්ගෙ රටවල ගැටළු ආවරණය කිරීමට මෙම සමාගම්වලට ඇණවුම් ලබා දෙනව. මේ මගින් සිදුවීම් පිළිබඳ කලින් සැකසූ චිත‍්‍රයක් තමයි අපහට ලැබෙන්නෙ. ඡායාරූපකරණය බලපෑම්සහගත දෙයක් නොවේනම් ඇයි ඒ ක‍්‍රියාවලිය පාලනය කරන්න මෙතරම් උත්සාහ කරන්නේ? ඇත්තටම වාර්තා ඡායාරූපකරණයට සමාජයට බලපෑමක් කරන්න බැරිනම් මෙවැනි තත්වයක් ඇති වීමට හැකියාවක් නැහැ.

ඇමෙරිකානු-වියට්නාම් යුද්ධ කාල සීමාව තුළ ඡායාරූප මගින් කරන ලද බලපෑම පිළිබඳව ලෝකයේ බොහොමයක් රජයයන් දැන් දැනුවත්. එම නිසා දැන් රජයන් වගේම රජයන්ට විරුද්ධව සටන් කරන පාර්ශවයන් ගැටුම් වාර්තාකරණයට ඉඩ දෙන්නෙ ඉතාම පරිස්සම් සහගතව. මෙම නිසා වෙනදාටත් වඩා ස්වාධීන වාර්තා ඡායාරූපකරණ භාවිතයක අවශ්‍යතාව අද වැඩි වෙලා තිබෙනව. ස්වාධීන කියන අදහස ගැටළුකාරී තමයි. මොකද හැම කෙනෙකුටම යම් පක්ෂපාතීත්වයන් හා දේශපාලන මතයන් තිබෙන නිසා. නුමුත් එම ගැටළුවට මුහුණ දීමේ ක‍්‍රමය වාර්තාකරණයට තිබෙන අවකාශය සීමා කිරීම ද, එසේත් නැත්නම්  විවිධ මානයන්ගෙන් සිදුවීමේ සංකීර්ණත්වය ග‍්‍රහණයකිරීමට හැකිවන සේ එම අවකාශය පුළුල් කිරීම ද යන්න අප හමුවේ ඇති ගැටළුවක්. නට්වේ ගේ ඡායාපකරණය අපව මේ පිළිබඳව සිතීමට හොඳ ආරම්භයක්.

ජේම්ස් නට්වේ

http://www.jamesnachtwey.com/

රට ගිනි ගන්නා වෙලාවේ ගස් ගල් වල පින්තූර ගන්න අපේ ඡායාරූප ශිල්පියෝ.

ජූනි 14, 2010

තමන්ගේ දරුවට කිරි ටිකක් මිලදී ගැනීමට නොහැකිව අඩා වැටෙන දහසක් මවුවරුන් මැද, යුද්ධයෙන් මියගිය තම පෙම්වතාගේ ඡායාරූපය දෙස බලමින් සෝ සුසුම් නගන දහසක් පෙම්වතියන් මැද, ඉතිරී වී ඇති තම දෙඅතින් යලි නැගිටීමට වෙර දරන දහසක් අබාධිත සොල්දාදුවන් මැද, අපට පුළුවන්ද වසන්තය ගැන ගී ලියන්න. බැස යන හිරු කාචයකින් සිතුවමකට නගන්න. ලෝකයේ මනුෂ්‍යත්වය අහිමි වී යන මොහොතක එය නොදකින දෑසකට පරිසරය පමණක් හැගුම්බරව පෙනේවිද? දැනේවිද? එය ව්‍යාජයක් නොවේද?

ඩොරෙතා ලෑන්ගෙ  විශිෂ්ඨ කලා නිර්මාණයක් වූ  “සංක‍්‍රමණික මව” ඡායාරූපය – 1936

ඒ 1930 දශකයයි. පළමු ලෝක යුද්ධය අවසන් වී ගතවී තිබුනේ වසර දහයකටත් අඩු කාලයක්. මුළු ලෝකයම මහා ආර්ථික අවපාතයකින් ගිල ගනිමින් පැවතුන. එතකොට ඇන්සල් ඇඩම්ස්ට අවුරුදු විසිගණනක් පමණ ඇති. යාන්තම් ඡායාරූප ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වයක් ලබාගත්තා පමනයි. ඒත් ඇන්සල් තෝරාගෙන සිටි ඡායාරූප ක්ෂේත‍්‍රය හතරවටින්ම ප‍්‍රහාරයට ලක්වෙමිනුයි තිබුනෙ. මේ වගේ කාලයක සමාජ ප‍්‍රශ්න පිළිබඳ අමතක කරල ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක කෙතරම් අසංවේදී වැඩක්ද?

තරුණ ඇන්සල් ට පමණක් නෙමෙයි මේ ප‍්‍රශ්නය බලපෑවෙ. ඒ යුගයේ බොහෝ කලා කරුවන් කලා කාරියන් තමන්ගේ කලාවේ අරමුණ ගැන නැවත සිතමිනුයි සිටියෙ. හැම රටකම දේශපාලන තත්වයන් ගොඩක් ගිනියම් වෙලා තිබුන. සමාජවාදීන් කිව්වෙ කලාවෙ අරමුණ විය යුත්තෙ ජනතාව දැනුවත් කරන එක කියල. ඒ කාලයෙ ශීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වෙමින් පැවතුන ෆැසිස්ට් දේශපාලන ධාරාවෙ අය කිව්වේ කලාවෙ අරමුණ වෙන්න  ඕනෙ ශිෂ්ඨත්වය, රට, ජාතිය මතු කරල පෙන්නන එක කියල. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් කලාව සැලකුවෙ උසස් රස වින්දනයට අදාල දෙයක් ලෙසටයි.

“ලෝකයම කැබලි වෙමින් තිබෙනව. ඇඩම්ස් සහ වෙස්ටන් ගස් ගල් ඡායාරූපයට නගමින් ඉන්නව.” සුප‍්‍රකට කලාකරුවෙකු වූ කාතියේ බෙසාන් මේ විදියට තමයි ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක විවේචනයට ලක් කලේ. තරුණ ඇන්සල්ගෙ කලා භාවිතය මෙම විවේචන වලින් දරුණු විදියට වෙව්ලූම් කෑව. ඒත් ඇන්සල්ට පුළුවන්ද ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක නවත්වන්න? පරිසරය සමඟ ඇන්සල්ට තිබුනෙ හරිම ගැඹුරු සම්බන්ධයක්. තමන්ගෙ ජීවිතයෙ ගැඹුරුම සත්‍යයෙන් වියෝ වුන කලාකෘතියක් තවදුරටත් සැබෑ කලාකෘතියක් වේවිද?

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

ඇන්සල් ඇඩම්ස් ඉපදුනේ 1902 වසරෙ ඇමෙරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයෙ. ඔහු කුඩා කාලයෙ එතරම් නිරෝගී ළමයෙක් නෙමෙයි. නිතරම එයාට ලෙඩ රෝග වැළදුන. ඒ වගේම එයාව සැලකුනෙ අධි ක‍්‍රියාකාරී ළමයෙක් ලෙසටයි. මේ හේතුව නිසා එක පාසලක එයාට වැඩි කාලයක් ඉන්න ලැබුනෙ නැහැ. මේ අතරෙ 1906 සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයෙ විශාල භූමිකම්පාවක් ඇතිවුන. ඇන්සලූත් එයින් තුවාල ලැබුව. මුළු පවුලම විශාල ආර්ථික අර්බුදයකට පත්වුනා. ඇන්සල්ගෙ අම්මට ආතතිය හැදුන. එතැන් සිට ඇන්සල්ගෙ ළමා විය කොහොමටත්ම සුන්දර එකක් වුනේ නැහැ.

ඇන්සල්  කියන්නෙ හසුරවන්නට ඉතාම අපහසු ළමයෙක්. එක් පැත්තකින් එයා හරිම ක‍්‍රියාකාරීයි. ඒත් තවත් පැත්තකින් එයා හරිම හුදකලයි. ඒ වගේම එයා ගොඩක් බුද්ධිමත්. එයා තුළ විශාල ශක්තියක්, ජීවයක් තිබුන. ඒත් මේ ශක්තිය කිසිම අරමුණකින් තොරව පාලනයකින් තොරව එයා තුළ විසිරිලයි තිබුනෙ. දරුණු ආර්ථික ප‍්‍රශ්න තියන මොහොතක මේ වගේ ළමයෙක්ව ඉවසගෙන ඉන්න එක දෙමාපියන්ට හරිම අසීරු වැඩක්. ඒත් ඇන්සල්ගෙ පියා ඇන්සල්ව පාලනය කරනව වෙනුවට ඇන්සල්ගේ මේ ජීවය පෝෂණය කරන්න උත්සාහ කලා.

ඇන්සල්ගෙ පියා නගරයේ හිටපු දක්ෂතම පුද්ගලික ගුරුවරු මාර්ගයෙන් ඇන්සල්ට අධ්‍යාපනය ලබා දුන්න. එයාට ගෙවීමෙ ක‍්‍රමයට ඩොලර් 6000ක පියානෝවක් ගෙනල්ල දුන්න. මුළු ලෝකයම ඇන්සල්ව අත හරින මොහොතක ඇන්සල්ගෙ පියා ඇන්සල්ව සැලකුවෙ තමන්ගෙ මුළු ලෝකයම විදියට. ඇන්සල් තදින් සංගීතයට යොමුවුනා. ඔහු තුල විසිරිල තිබුනු ශක්තිය සංගීතය ඇතුලෙ ක‍්‍රමයෙන් එක අරමුණකට යොමු වුන. මෙතෙක් කැඞී බිදුනු අවුල් සහගත දෙයක් ලෙස පෙනුන ලෝකය විවිධ රිද්මයන්, විවිධ හැඩතලයන්, සියුම් සම්බන්ධයන් සහිත තැනක් ලෙසට ඇන්සල්ට පෙනෙන්නට ගත්ත.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

එත් ඇන්සල්ගෙ පීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනෙ තවත් ආකාරයක සංගීතයක් එයාගෙ ජීවිතයට හමු වුනාට පසුවයි. වසර 14 දී අසනීපයෙන් ඉන්න මොහොතක ඇන්සල්ගෙ නැන්ද කෙනෙක් ඇන්සල්ට ලස්සන පොතක් ගෙනල්ල දුන්න. ඒ පොතේ තිබුනෙ සියේරා නෙවාඩා කදුකරයෙ යොසෙමීට් සානුව ගැන. ඒ සානුවෙ ජීවත්වුනු ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිස්සු ගැන. පරිසරයත් එක්ක ඔවුනට තිබුනු අපූර්ව සම්බන්ධය ගැන.

කුඩා ඇන්සල්ගෙ සිතුවිලි ලෝකය යොසෙමීට් සානුවෙ ගූඪ චමත්කාරයෙන් වෙලා ගැනුන. ඇන්සල්ගෙ පියා 1916 වසන්තයේදී ඔහුව සියේරා නෙවාඩා කදුකරයට රැගෙන ගියා. ඒ වගේම එයාට ඒ ගමනෙදි තවත් තෑග්ගක් හමුවුන. ඒ තමයි කොඩැක් බ‍්‍රවුනි කැමරාවක්. අප දන්න ඇන්සල් ඇඩම්ස්ගෙ ජීවිතය පටන් ගැනෙන්නෙ මෙතැන් පසුයි.

ඇන්සල් ඇඩම්ස්ගෙ චමත්කාරජනක ඡායාරූපයන් දකින විට ඒ තුළ අපට මුලික බලපෑම් දෙකක් අදුනගන්න පුළුවන්. එකක් තමයි සංගීතය. “පියානොවේ යතුරු 88 ක් තිබෙනව. සංගීත නිර්මාණයේදී අපි ඒ යතුරු සියල්ල උපයෝගී කරගත යුතුයි. ඒ වගේම තමයි ඡායාරූපකරණයත්. කළු වර්ණය හා සුදු වර්ණය අතර වර්ණ සංයෝගාකාරයන් 88ක් පමණ තියෙනව. ඡායාරූපයක් නිර්මාණය කරත්දී ඒ සියලූ දේ අප භාවිතා කල යුතුයි. ඒවා භාවිතා කරන ආකාරය අප දැන සිටිය යුතුයි” ඇන්සල් සංගීතය හා ඡායාරූපකරණය අතර සම්බන්ධය දකින්නේ ඒ ආකාරයටයි.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

ඇන්සල්ගෙ ඡායාරූපකරණයට බලපෑ අනිත් ප‍්‍රධාන හේතුව තමයි පරිසරය සමඟ ඔහුට තිබුණු හෘදයාංගම සම්බන්ධය. ඇන්සල්ගෙ තරුණ කාලයේ පරිසරය ගැන සමාජයෙ තිබුනෙ හරිම උපයෝගීතාවාදී අදහසක්. ඒ කාලය ලෝකය තදින් කාර්මිකකරණය වෙමින් පැවතුන යුගයක්. බොහෝ දෙනා විශ්වාස කලේ පරිසරය කියන්නෙ මිනිසුන්ගෙ අවශ්‍යතාවලට යොදාගන්න තිබෙන දෙයක් කියලයි. තාක්ෂණ දියුණුව නිසා පරිසරය මිනිස්සුන්ට මෙල්ල කරගන්න පුළුවන් කියල ලොකු විශ්වාසයක් ඒ කාලයෙ ඇතිවෙලා තිබුණ.

ඇන්සල්ට එයාගෙ නැන්ද ගෙනල්ල දුන්න පොතේ හිටපු ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිසුන් පරිසරය ගැන දැක්වුවේ වෙනම ආකල්පයක්. අපට පුළුවන්ද පරිසරයෙන් තොරව අප ගැන සිතන්න. අපේ ජීවිතය කියන්නෙ මේ විශාල පරිසර පද්ධතියෙ එක් කුඩා අංශුවක් පමණයි. ඒ පද්ධතියට කරන  ඕනෑම බලපෑමක් අප අපටම කරගන්නා බලපෑමක්. පොළව මිනිස්සුන්ට පුද්ගලිකව වෙන් කරගන්න පුළුවන් දෙයක් කියන අදහස ඒ ගොල්ලන්ට කොහෙත්ම තේරුම් ගන්න බැරිවුන. ඔවුන් පරිසරයට සැලකුවේ දේවත්වයෙන්.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

ඒත් අළුතින් ඇතිවෙල තිබුණු තාක්ෂණික දියුනුවෙන් මත්වෙල හිටපු බොහෝ දෙනෙක් මේ අදහස් සැලකුවෙ මෝඩ අවිද්‍යාත්මක අදහස් ලෙසටයි. ඔවුන් මේ මිනිස්සුන්ව බලහත්කාරයෙන් කුඩා ප‍්‍රදේශ වලට කොටු කලා. ඒ අයගෙ ළමයින්ව දෙමවුපියන්ගෙන් වෙන්කරල ඒ අයට බලෙන් “නව දැනුම” ඉගැන්නුව. ඒකට අකමැති වුනු අයව මරල දැම්ම. ඒ කාලයෙ මූලික සංවාදය වුනේ පරිසරය මෙල්ල කරල ගන්න සම්පත් බෙදාගන්නෙ කොහොමද කියන එක. ඒවා තරගකාරී විදියට මිනිසුන්ට ලබාගන්න දෙනවද? එහෙම නැත්තම් සමානව මිනිසුන් අතරෙ බෙදල දෙනවද?

ඒත් ස්වභාවධර්මය එහෙම මිනිස්සුන්ට බෙදාගන්න පුළුවන් දෙයක්ද? ඇන්සල් ගමන් කලේ වෙනම පාරක. එයා උත්සාහ කලේ ස්වභාවධර්මයත් එක්ක අපගේ තිබෙන ගැඹුරු සම්බන්ධය ඡායාරූපයට නගන්න. කැමරා කාචයකින් ස්වභාවධර්මයේ සිතුවිලි වලට සවන් දෙන්න. ඒ සමග කතා කරන්න. එහි විවිධාකාර රහස්, රිද්මයන් සොයා යන්න. එයා තමන්ගේ තරුණ කාලයම කැප කලේ ඒ සඳහායි.

ඇන්සල් වැඩ කලේ ආර්ථික අමාරුකම් රාශියක් මැද්දේ. ඒ කාලයෙ ඡායාරූපකරනය ආර්ථික අතින් යැපීමට තරම් දියුණු වෙලා තිබුනු ක්ශේත‍්‍රයක් නොවෙයි. ඔහු දිනකට පැය 20ක් පමන වැඩ කලා. මේ අසීරුතා මැද ඡායාරූප ඉතිහාසයේ නිර්මාණය වුනු ශ්‍රේෂ්ඨතම ඡායාරූප රාශියක් නිර්මාණය කරන්න ඇන්සල්ට හැකි වෙලා තිබෙනව. ඒ වගේම ස්වභාවධර්මය ගැන සමාජ ආකල්ප වෙනස් කරන්න ඇන්සල්ගෙ කලා නිර්මාණයන් විශාල වශයෙන් දායක වෙලා තිබෙනව.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

ඒත් සමාජ ප‍්‍රශ්න ඡායාරූපයට නගන එක වගේම ස්වභාවධර්මය ඡායාරූපයට නගන එකත් දේශපාලනිකයි කියල කවුරුත් ඒ කාලයෙ පිලිගත්තෙ නැහැ. ඒත් ඇන්සල් ඇඩම්ස්ගෙ අදහස වුනේ වාර්තා ඡායාරූපකරණය ඉතා ඉහල මට්ටමෙන් නොපැවතුනොත් එය හුදු ප‍්‍රචාරකවාදයක් වෙනව කියලයි.

ඇන්සල්ගෙ කාලයට වඩා අද වෙනස්. බොහෝ පරිසරය ගැන උනන්දුවෙන් කතා කරනව. පරිසර ප‍්‍රශ්නය අපගේ යුගයේ ප‍්‍රධානතම සමාජ ගැටළුවක් බවට පත් වෙලා. ඒ සම්බන්ධයෙන් දේශපාලන ව්‍යාපාර පවා ඇතිවෙලා තිබෙනව. පරිසරය රැකගැනීම වෙනුවෙන් වැඩ කරනව කියන එක මිත්‍යාදෘෂ්ධියක් හෝ මෝඩකමක් කියල කියන අය අද අඩුයි. ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිසුන්ගේ පරිසරය ගැන ආකල්ප අද පරිසර ව්‍යාපාරවල තේමාවන් බවට පත්වෙලා.

ඇන්සල්ගෙ තරුණ කාලයේ බොහෝ දෙනා ධනවාදය වෙනුවෙන්, සමාජවාදය වෙනුවෙන්, ෆැසිස්ට්වාදය වෙනුවෙන් තමන් වැඩකරනව කියල ආඩම්බරයෙන් කියපු ආකාරයටම අද කෙනෙකුට පරිසරය වෙනුවන් තමන් වැඩ කරනව කියල කියන්න හැකියාවක් අත්වෙලා තියෙනව. අද වාර්තා ඡායාරූපකරණය තුළට පරිසර ප‍්‍රශ්න වාර්තාකරණයත් පිවිසිල.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

ඉස්සර වගේ අද ගොඩක් අය ප‍්‍රසිද්ධියෙ තමන් ධනවාදී, ෆැසිස්ට්වාදී හෝ සමාජවාදී කියල අදුන්වගන්න එක දකින්න අමාරුයි. පරිසරවාදය අද එතැනට ඇවිල්ල වගේ. මිනිස්සු පරිසරයට වඩා ප‍්‍රමුඛයි කියන එකයි, පරිසරය මිනිසුන්ට වඩා ප‍්‍රමුඛයි කියන එකයි එකම කාසියෙ දෙපැත්ත වගේ. මිනිසුන් හැමදාම අන්තවාදයන් වෙත ඇදී යන්නෙ කෙතරම් පහසුවෙන්ද? හරියට පහන් දැල්ලක් වෙතට නොදැනීම ඇදීයන මෙරුවන් වගේ.

දේශපාලන මතවාදයන් එනව යනව. එක කාලයක ගොඩක් වැදගත් කියල හිතෙන දේ තවත් කාලයක නොවැදගත් කියල හිතෙනව. එක යුගයක විප්ලවීය වෙන දේවල් තව යුගයක සම්ප‍්‍රදායික දේ බවට පත්වෙනව. ඒත් සමහර කලා කෘති සැමදා පවතිනව. යුගයේ කලාකරුවෙක් වෙන්න දහසකුත් එකක් විධි තියෙනව. එත් සැමදා පවතින කලා නිර්මාණයක් කරන්න තියෙන්නෙ එකම එක විදියයි. ඒ තමන්ගෙ කලාව එක්ක තියෙන භාවිතාව වඩ වඩා ගැඹුරු කරගන්න එක, එයට තියෙන ආශාව අත් නොහරින එක, දිගින් දිගටම කලා නිර්මාණ කරන එක.

එකම යුගයක මාර්ග දෙකක ගමන් කරපු ඇන්සල් ඇඩම්ස්ගෙ ඡායාරූපයනුත්, කාතියෙ බෙසාන්ගෙ ඡායාරූපයනුත්, පොදුවෙ අද සැලකෙන්නෙ සමාජයට විශාල දේශපාලනික බලපෑමක් කළ කලා නිර්මාණ ලෙසට. විවිධ ධාරාවන්ට අයත් වුනත් ඒවාට පොදු එක ලක්ෂණයක් තිබෙනව. ඒව කලාත්මක ලෙස ඉතාමත් උසස් ගනයේ නිර්මාණයන්. ඒ නිසාම සෑම යුගයකම මිනිස්සුන්ගෙ සිතුවිලිවලට බලපෑම් කරන්න ඒවට පුළුවන් වෙලා තිබෙනව. කලා කෘතියක් වඩ වඩා කලාත්මක වන විට එය වඩ වඩා දේශපාලනික වෙනව.

ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්

“අපට තේරුම් කරන්න ගැඹුරු දෙයක් තියනව. ඒ තමා මනුශ්‍යත්වය කරා අපසු යෑම. ස්වාභාවික දේ ගැන, අහස ගැන, කදු වැටි ගැන යම් ආකාරයක සමබර දැක්මක් අත් කර ගන්න එක. අපට ජීවත් වීමට, දෑතට ගැනීමට පොළව බිඳක් අවශ්‍යයි. සමහරවිට ඡායාරූපකරණයට එය කල හැකි වේවි. මගේ උත්සාහය ඒකයි.” ඇන්සල් ඇඩම්ස් එයාගෙ ඡායාරූපකරණය ගැන එසේ පවසනව.

ලංකාවේ තරුණ ඡායාරූප ශිල්පීන්, ශිල්පිණියන් රාශියකගෙ නිර්මාණ අන්තර්ජාලය හරහා අප දකිමින් සිටිනව. මේවායින් බොහොමයක් ස්වභාවධර්මය ගැන ඡායාරූපයන්. එකම ඉර සිය විදියකට ගනිමින්, එකම සමනළයා කෝණ සියයකින් ගනිමින් කරන මේ විකාරය මොකක්ද කියල අපට සමහර විටක හිතෙනව. අප හැමදාම දකින දේ තුළ ඔවුන් මෙතරම් මේ සොයන්නෙ මොනවද. මේ වගේ කාලයක කරන්න වෙන වැදගත් වැඩ නැත්ද? ඒත් කලාවට කොහෙද කෙටි මාවත්?  කලා කරුවන්ගෙන් කලා නිර්මාණ බලෙන් ගන්න යන එක රත්තරන් බිත්තර ගන්න යනව වගේ වැඩක්. අපූර්ව කලා නිර්මාණ බිහිවන්නෙ එය නිර්මාණය කරන කලාකරුවාත් පුදුමයට පත්කරමින්. ඒ මොහොත වෙනකම් අපි බලා ඉමු.

ජීවන කාච

ඇන්සල් ඇඩම්ස් ගැන විස්තර ගත්තෙ රික් බර්න්ස් අධ්‍යක්ෂණය කල “ඇන්සල් ඇඩම්ස්” වාර්තා චිත‍්‍රපටයෙන් – 2004

තීරණාත්මක නිමේශය- හෙන්රි කාතියේ බ්‍රෙසන්

මැයි 31, 2010

ඩෙනිස් හොපර් තමන්ගේ සිනමා දිවිය ආරම්භ කරන ලද්දේ වසර විස්සේදී “රිබෙල් විතවුට් අ කෝස්” නැමති චිත‍්‍රපටයයෙහි රගපෑමෙනි.ඔහු චිත‍්‍රපට ගනනාවක් අධ්‍යක්ෂණය කර ඇත. 1969 දී සම්මානයට පාත‍්‍ර වූ “ඊසි රයිඩර්” චිත‍්‍රපටයත්, 1988 වසරේදී තිරගත වුනු “කලර්ස්” චිත‍්‍රපටයත් ඒ අතරින් කිහිපයකි. ඔහු 2010/05/29  දින මියගිය අතර ඒවන විට ඔහුගේ වයස වසර 74ක් විය. මේ ලිපිය ඔහු කලා ක්ෂේත‍්‍රය වෙත කරනු ලැබූ දායකත්වය සිහිකිරීම වෙනුවෙන් පළ කිරීමට අපි අදහස් කලෙමු.

හෙන්රි කාතියේ බ්‍රෙසන් ගැන ඩෙනිස් හෝපර්…….

1995 වසරේදී මම දෙවැනි වසරෙ උපාධි අපේක්ෂකයෙක්. ඒ කාලයේ මම පදික වේදිකාවල සෑදී තිබුණු ඉරි තැලීම් හා මඟ දෙපස තාප්ප වල සමීප දර්ශන ජායාරූපයට නගමින් සිටියෙමි. මම නිරන්තර නිර්මාණකරනයේ යෙදුන කෙනෙක්. චිත‍්‍ර ඇදීම, මූර්ති නිර්මාණය, ඡායාරූප ගැනීම, මේ සියල්ල මම එක් දෙයක් ලෙසට සැලකුවෙමි. කවුරුන්හෝ මට හෙන්රි කාතියේ බ්‍රෙසන්ගේ “තීරණාත්මක නිමේශය” පොතෙහි පිටපතක් දුන් අතර එම පොත විසින් මාවත් මගේඡායාරූපකරණයත් වෙනස් කරනු ලැබීය. මම මින් පසු ඒ පොතෙහි තිබූ ආකාරයේ ඡායාරූපයන් ගැනීමට පටන් ගත්තා යැයි මම නොකියමි. නමුත් එය ඡායාරූපකරණය පිළිබඳ මා සතුව පැවති සංකල්පය වෙනස් කලේය. අප ඡායාරූපගත කිරීමට යන වස්තුව ඡායාරූපයට නැගිය හැකි තනි නිෂ්චිත මොහොතක් තිබෙනවා යන අදහස මෙම සංකල්පයයි. කාතියේ බ්‍රෙසන් මෙම අදහස “තීරණාත්මක නිමේශය” ලෙස හඳුන්වයි. Read more…

කතාකරන ඡායාරූප – ඉසබෙල් අයන්ඬේ

අප්‍රේල් 25, 2010

මඩ අතර සිරවුණු ඔමයිරා සැන්චේස් දින තුනකට පසු

ඡායාරූපය-ෆ්රූන්ක් ෆෝර්නියර්

අපි ගොඩක් වෙලාවට අහල තියෙන්නෙ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරපු, ඒ අයට ගොඩාක් බලපාපු පොත් ගැන, චිත‍්‍රපටි ගැන, එහෙමත් නැත්නම් ගීත ගැන. ඡායාරූපයකටත් මිනිසෙක්ගෙ ජීවිතය වෙනස් කරන්න පුළුවන්ද? ඡායාරූපකරණය කියන්නෙත් ඒ වගේම අපගේ ජීවිතයට බලපෑම් කල හැකි කලාවක්ද? මේකට උත්තර සොයන්න තියෙන හොදම විදිය තමයි ඒ වගේ අත්දැකීමක් විදල තිබෙන කෙනෙක්ගෙන්ම  මේ ගැන අහන එක. ඉතින් මේ ඒ වගේ අත්දැකීමක් ගැන කතාකරන්නේ චිලියානු ජාතික ලේඛිකාවක් වන ඉසබෙල් අයන්ඬේ.

කතාකරන ඡායාරූප

මුළින්ම මම ඔමයිරා සැන්චෙස්ගේ රූපය දැක්කේ රූපවාහිණියෙන්. ඇගේ මුහුණ මට කොහොමටවත් අමතක කරන්න බැරිවුනා. මට හිතුනෙම ඇය මා දිහා බලාගෙන ඉන්නව කියලයි. ඒ 1985 වසර. ඒ කාලය මගේ ජීවිතයේ අමාරුම කාලයක්. එකින් එක රුකියාවට මාරුවෙමින්, ලේඛිකාවක් වෙනවාද නැත්ද යන්න සිතමින් තමයි මම ඒ කාලයේ සිටියේ. මේ වෙනකොටත් මම එක් පොතක් ප‍්‍රකාශනයට පත් කරල තිබුන. ඒ වගේම දෙවන පොතත්  ලියල අවසන් කරල තිබුන. ලේඛිකාවක් විදියට ජීවිතයක් ගොඩනගාගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කලේ නැහැ. මගේ විවාහයත් එතරම් සාර්ථකව නෙමෙයි පැවතුනේ. මගේ ළමයිනුත් මගෙන් ඈත් වෙමින් පාසැල් යාමට පටන් ගනිමිනුයි  සිටියේ. Read more…

ඇගේ ඇසින් ලොව බලන්න – Women and Photography – 3

අප්‍රේල් 7, 2010

කාන්තා දිනය පහුවෙලා සති තුනක් ගතවුනා. ඒත් කාන්තාවන් හා ඡායාරූපකරණය ගැන අපේ කතාව තවම ඉවරකරගන්න බැරිවුනා. ඉතිං මේ තමයි ඒ ලිපියේ අවසාන කොටස. අපි මීට කලින් සතියේ පෝස්ට් එකේදි කතාකලේ 60 දශකයේ සිදුවුන විප්ලවය කලා ක්ශේත‍්‍රයටයි ඡායාරූපකරණයටයි බලපෑවෙ කොහොමද කියලයි. අපි මුලින්ම බලමු කාන්තාවන් හා ඡායාරූපකරණය අතර ඇති සම්බන්ධයට 60 දශකයේ සිදුවුනු මේ වෙනස්කම් බලපෑවෙ කොහොමද කියල.

ඡායාරූප ශිල්පිණී ඇන්ජලා ස්ටෙ‍්‍රසීම්ගේ ඡායාරූපයක්

60 දශකය කියන්නෙ කාන්තාවන්ටත් ගොඩක් වැදගත් වුනු දශකයක්. මේ වෙන තෙක් කාන්තාවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් සමාජයේ ලොකු හඩක් තිබුනෙ නැහැ. පිරිමි අය කාන්තාවන්ට තියෙන ප‍්‍රශ්න ගැන දැක්වුයේ අඩු අවධානයක්. අවධානයක් දක්වපු අය පවා කිව්වේ විප්ලවයෙන් පස්සෙ, ජාතික නිදහස දිනාගත්තයින් පස්සේ, සමාජවාදය උදාවුනායින් පස්සෙ කාන්තාවන්ගෙ ප‍්‍රශ්න විසදල දෙන්නම් වගේ කතාවන්. එත් මේවගේ අරගල දිනපු තැන් වල කවුරුත් මේ පොරොන්දු මේවන තෙක් ඉටු කරල තිබුනෙ නැහැ. ඒව ඔක්කොම දෙන්නම් කාසි ගනයට තමා අයිති වෙලා තිබුනෙ. ඉතින් මේ හේතුව නිසා 60 දශකයේදී කාන්තාවෝ ම තමන්ගේ ප‍්‍රශ්න පිළිබඳව සංවිධානය වෙල අරගල කරන්න පටන් ගන්නව. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසට 70 දශකය මුල භාගය වෙත්දී කාන්තාවන්ට පුළුවන් වෙනව ශක්තිමත් කාන්තා ව්‍යාපාරයක් නිර්මාණය කරගන්න.

Read more…

කාන්තාව හා ඡායාරූපකරණය -2– Women and Photography

අප්‍රේල් 1, 2010

ඔන්න අපි දැන් කාන්තාව හා ඡායාරූපකරණය ගැන අපේ කතාවෙ ඉතුරු කොටස කතාතරන්නයි යන්නෙ.

අපි ගිය සතියෙ කතාකලේ මොනවද කියල ටිකක් මතක් කරගමු. කාන්තාව හා ඡායාරූපකරණය අතර තියන සම්බන්ධය මොකක්ද?, ඡායාරූපකරණයට සම්බන්ධ වෙලා ඉන්න කාන්තාවන් කවුද?, ඒ අයගෙ ඉතිහාසය මොකක්ද?, ඒ අයගෙන් ඡායාරූපකරණ ක්ෂේත‍්‍රයට වුනු දායකත්වය මොකක්ද?, ඒ අයගේ ප‍්‍රසිද්ධ නිර්මාණ මොනවාද?, කියන එක තමයි අපි කතා කලේ. ඡායාරූපකරණයෙ ඉතිහාසය අවුස්සල බලත්දි අපි හොයාගත්තා ඡායාරූපකරණය ආරම්භවුනේ යුරෝපයේ කාර්මික විප්ලවය සිදුවුනු කාලේ ඇතිවුනු තාක්ෂණික දියුනුවත් එක්ක කියල. එ වගේම යුරෝපයේ කාන්තාව ගැන තිබුනු පසුගාමී අදහසුත් කාන්තාව හා ඡායාරූපකරණය අතර සම්බන්ධයට බලපෑව බව අපි කතා කලා. මේ අදහස් 60 දශකයේදී වෙනස් වෙන්න පටන් ගන්නවා කියන තැනින් තමයි අපි කතාව නතර කලේ. අද එතැන ඉදල …..

ඡායාරූපය – ලානා ස්ලෙසික්

Read more…

එක පාරටම අපේ ඡායාරූප පන්තියට ගැහැණු ළමයෙක් ඇවිල්ල – Women and Photography

මාර්තු 17, 2010

ඡායාරූපය – ඇනී ලේබොවිට්ස්

එක පාරටම අපේ ඡායාරූප පන්තියට ගැහැණු ළමයෙක් ආවා. අපිට විතරක් නෙමෙයි අපේ සර්ටත් හරිම සතුටුයි. ගිය අවුරුද්දෙ පාඨමාලාවේ ඔක්කොම සිටියෙ පිරිමි අය. අපේ සර් සන්තෝසයෙන් ” ම්, මේක හොඳ දියුනුවක්. අඩුම තරමින් මේ අවුරුද්දේ එක ගැහැණු ළමයෙක් හරි පන්තියට ආපු එක” කියල කිව්ව. එතකොටම අර ගැහැණු ළමය ලැජ්ජාවෙන් වගේ වට පිට බලල “අනේ සොරි, මේක ඡායාරූප පාඨමාලාවද? මම වැරදි කාමරයටනෙ ඇවිල්ල තියෙන්නෙ” කියල නැගිටල යන්න ගියා. අපි මූනෙන් මූන බලා ගත්තා.

Read more…

කැමරා කාචයේ සමාජ සිතුවම්

මාර්තු 1, 2010

ලොව පුරා සිටින ඡායාරූප ශිල්පීන් ශිල්පිණියන් හඳුන්වාදීමේ උත්සාහයක පළමු පියවර ලෙසට අපි ඔබට නොර්වීජියානු ජාතික ප‍්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකු  වන ජෝනස් බෙනඩික්සන් සහ ඡායාරූපකරණය පිළිබඳ ඔහුගේ අදහස් හඳුන්වා දෙමු

ජෝනස් බෙන්ඩික්සන්

අපි එන්න එන්නම ජීවත්වන්නේ දෘශ්‍ය සංස්කෘතිය පුළුල් වන ලෝකයක. බැලූ බැලූ සෑම තැනකම ඡායාරූපකරණය තිබෙනව. බලන්න ෆ්ලිකර් සහ තවත් ඒ වගේ ඒව. දිනකට මේවාට ඡායාරූප මිලියන දෙකක් පමණ ඇතුල් වෙනව. මේ සමහරක් ඡායාරූප ඇත්තටම ගොඩක් හොඳ ඡායාරූප.

මම හිතන විදියට අනාගතයේ ඡායාරූපකරනයෙ උරුමකරුවන් වන්නේ අත්‍යාවශ්‍යයෙන්ම හොඳම ඡායාරූපය ගන්නා අය හෝ හොඳම සංකලනය සහිත ඡායාරූප ගන්නා අයම නොවෙයි. එහිදී ප‍්‍රධාන වන්නේ කා සතුවද හොඳම අදහස් ඇත්තේ කියන එක. කා සතුවද කීමට වඩාත් තියුණු කතාවන් ඇත්තේ කියන එක.

ජෝනස් බෙනඩික්සන්
( සම්මුඛ සාච්චාවකින් )

ජෝනස් බෙන්ඩික්සන් පහලොස් වැනි වියේ දී නෝර්වේ වල ජීවත් වන කාලයේ තමයි ඡායාරූප ගැනීම ආරම්භ කලේ. ඔහුගෙ පියා නොර්වේ ජාතිකයෙක්. මව ඇමරිකන් ජාතික කාන්තාවක්. එයාගෙ මවගෙ නෑදෑයන් මේකාලෙදි ජීවත් වුනෙ රුසියාවෙ ලෙනින්ග‍්‍රාඞ් නගරයෙ. එනිසා පොඩි කාලයේ ගෙදර කෑම මේසයේ සාකච්චාවල වැඩියෙන්ම කතාකරපු එක් මාතෘකාවක් තමයි රුසියාව. කොහොමද මේ අයව ආරක්ෂාකාරීව රුසියාවෙන් එලියට ගන්නෙ කියන එක තමයි වැදගත්ම කාරණාව වුනෙ. මේ දේවල් තමයි පසුකාලීනව ජෝනස්ට නොසිතූ ලෙස බලපෑවෙ.

Read more…

කැමරා සයුරේ නාමු ගිලීල

පෙබරවාරි 22, 2010

අද හැමතැනම කැමරා වැහි වැහැල. ඩිජිටල් කැමරා, ෆෝන් කැමරා, සාක්කුවේ දාගන යන කැමරා, පර්ස් එකේ දාගෙන යන කැමරා, තවත් එකී මෙකී නොකී කැමරා වර්ග කීයක් අපේ වටේ කැරකෙනව ද?

මීට අවුරුදු ගනනකට පෙර කැමරාව කියන්නේ හරිම ගරු ගාම්භීර භාන්ඩයක්. විනෝද චාරිකාවක් එහෙම යත්දි හරිම අමාරුවෙන් තමයි එකක් හොයා ගන්නේ. චාරිකාවටම තියෙන්නෙ එක රීල් එකයි. ඉතින් කැමරාව අයිතිකාරය දෙවියෙක් වගේ. දියඇල්ලයි, රෝස මලූයි, තේ වත්තයි කවර් කරාට පස්සෙ අපට ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නෙ යාන්තම් සමූහ රූප ටිකකට මූණ දාගන්න එක විතරයි. ඒත් කැමරාව අයිතිකාරය රෝසමල් වලට ආස කෙනෙක් නම් දෙවියන්ගෙ පිහිටයි. මුළු චාරිකාවම මල්.

Read more…

Follow

Get every new post delivered to your Inbox.